ජර්මනියට අයත් වනාන්තරයක වළදමා තිබූ සෝවියට් දේශයේ නිර්මාතෘ වී.අයි. ලෙනින්ගේ දැවැන්ත ප්‍රතිමාවක හිස කොටස නැවතත් ගොඩගෙන ඇති බව පැවසේ.
බර්ලින් තාප්පයෙන් බෙදී වෙන්ව තිබූ ජර්මනිය 1991 වසරේදී නැවතත් එය බිඳ දමා එක් වීමෙන් පසුව ජර්මනියේ ගොඩනගා තිබූ මීටර් 19ක් උස ගලින් කරනු ලැබූ ලෙනින්ගේ විශාල පිළිරුව කැබලි කර බිම හෙළා දැමුණි. පසුව එහි කොටස් වනාන්තර ප්‍රදේශයට ගෙන ගොස් වළදැමීමට කටයුතු කර ඇත.
මෙම පිළිරුව පිළිබඳව කතා බහට ලක්වී ඇත්තේ 2003 වර්ෂයේදී ලෙනින්ගේ චරිතය පිලිබඳව නිර්මාණය වූ ගුඩ් බායි ලෙනින් නම් චිත්‍රපටයට මෙම පිළිරුව අත් වූ ඉරණම යොදා ගැනීමත් තිබීමත් සමගය. මෙලෙස ගොඩගෙන ඇති පිළිරුවේ හිස කොටසෙහි බර ටොන් තුන හමාරක් පමණ වෙතැයි පැවසේ.
ලෙනින්ගේ පිළිරුව ඓතිහාසික සිහිවටනයක් ලෙස නැවත ස්ථාපනය කළ යුතු බවට ඉතිහාසඥයින් කළ ඉල්ලීමක් අනුව පිළිරුව ගොඩ ගැනීමට තීරණය කර තිබේ. ගොඩගනු ලැබූ පිළිරුවේ හිස කොටස බර්ලිනයේ පිහිටි කෞතුකාගාරයක් වෙත ගෙන යෑමට නියමිත බව සඳහන්ය.
සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රාජ්‍යයන්ගේ ජනතාවගේ ජන ජීවිතය වඩා උසස් තැනකට ගෙන ඒම වෙනුවෙන් ලෙනින් කරනු ලැබූ අති මහත් සේවාව කිසිදාක ඉතිහාසය තුළින් ඉවත් කළ නොහැකිව පවතී. සමාජවාදය තුළ නිදහස්, තෘප්තිමත්, ජීවිතයක් ගතකරනු ලැබූ සෝවියට් ජනතාවට අද වන විට අත්ව ඇති ඉරණම ඛේදනීය බවත් එවන් තත්වයක් හමුවේ ලෙනින් වැනි ශ්‍රේෂ්ඨ නායකයින්ගේ වුවමනාව වැඩි වැඩියෙන් ලෝකයට අවැසි බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙති.










