රටක සංවර්ධනය මනින එක් ප්රධාන මිනුම් දණ්ඩක් වන්නේ එම රටේ පවතින අධ්යාපන තත්ත්වය යි. අධ්යාපනයේ ප්රධාන අරමුණු අතර, විශේෂයෙන්ම උසස් අධ්යාපනයේ, එක් අරමුණක් වන්නේ සමාජයේ බුද්ධිමය අවශ්යතා (Intellectual Needs) සැපිරීම, එක් අතකින් ශාස්ත්රීය දැනුම (Academic Knowledge) සැපයීම සහ අනෙක් අතට වෘත්තීය පුහුණුව (Professional Training) ලබා දීමයි. සමාජයේ උසස් අධ්යාපනය සඳහා තිබෙන අභිලාෂයන් සංතෘප්ත කිරීම වගේම දේශීය හා ජාත්යන්තර ආර්ථිකයේ ඇති වන වෙනස්කම් හේතුවෙන් වන්නාවූ සමාජ වෙනස් වීම් වලට ප්රතිචාර දැක්වීමට රටක උසස් අධ්යාපනයට හැකියාව තිබිය යුතුයි.
විශ්වවිද්යාල උපාධිධාරීන් රටේ මානව ප්රාග්ධනයේ වැදගත් කොටස්කරුවන් බව නොරහසක්. විශ්වවිද්යාල රැකියා ෆැක්ටරි නොවුනත් , විශ්වවිද්යාලයෙන් ලබා දෙන උපාධිය වැඩ ලෝකයට ගැළපෙන එකක් විය යුතුයි. උපාධිය ලබාගෙන එලියට එන තරුණයාට හෝ තරුණියට තමා ඉගෙන ගත් දැනුම ප්රායෝගිකව යොදා ගැනීමට වැඩබිම සූදානම්ව තිබිය යුතුයි .
විශ්වවිද්යාල නව දැනුම සෙවීමට, දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම දැනුම ප්රශ්න කිරීමට සහ විචාරශීලී සන්නිවේදනයට අවස්ථාව තිබෙන මධ්යස්ථාන බවට පත් විය යුතුයි. අමතරව, ව්යවසායකයන් නිර්මාණය කරන ආයතන බවට විශ්වවිද්යාල කටයුතු කල යුතුයි. ඒ සඳහා අවශ්ය දැනුම, මග පෙන්වීම, සහ පහසුකම් සම්බන්ධීකරණය කර දීම රජයේ වගකීමක් විය යුතුයි. වඩා වැදගත් වන්නේ විශ්ව විද්යාලයෙන් පිටවන උපාධිධාරියා යහපත් ආකල්ප වලින් හෙබි, ඕනෑම අවස්ථාවකට අනුව හැඩ ගැසිය හැකි පුද්ගලයකු බවට පත් කිරීමයි. ලංකාවේ විශ්වවිද්යාල සාම්ප්රදායික සීමාවලට කොටු නොවී පස් වන කාර්මික විප්ලවයට (IR 5.0) අවශ්ය ශ්රම බලකාය නිෂ්පාදනය කරන ආයතන බවට පත් කල යුතුයි .
උපාධිධාරියකු වී එලියට එන තරුණයා/තරුණිය මධ්යම හෝ උසස් කළමනාකරණ මට්ටමේ රැකියාවක් බලාපොරොත්තු වෙයි. එහෙත් ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකර ගැනීමට අවශ්ය දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීමට අපගේ අධ්යාපන ක්රමයට හැකි වී තිබෙනවා ද යන්න ප්රශ්නයකි.
ලෝකයේ විශ්වවිද්යාලවල සාර්ථකත්වය මනින එක් වැදගත් දර්ශකයක් හැටියට සලකන්නේ එම විශ්වවිද්යාල බිහි කරන උපාධි ලාභීන්ට වැඩ ලෝකයේ තිබෙන අවස්ථාවන් කොපමණද යන තක්සේරුව අනුවයි. කොළඹ විශ්වවිද්යාලය විසින් 2022 වසරේ නිකුත් කල උපාධිධාරී රැකියා ගත වීමේ වාර්තාව (Graduate Employability Survey -2022) අනුව කිසියම් හෝ රැකියාවක් ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ උපාධිධාරීන්ගෙන් 67% ක පිරිසකට පමණි. https://mgmt.cmb.ac.lk/wp-content/uploads/2016/03/GES-Report-2022.pdf
කැලණිය විශ්වවිද්යාලය 2020 නිකුත් කල රැකියා ගත වීමේ සමීක්ෂණයට අනුව ඔවුන් නිපදවන උපාධි ලාභීන්ගෙන් රැකියාවක් සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ 34%කටය. එම ප්රමාණයෙන් , 50.4% තාවකාලික රැකියා වන අතර ස්ථීර රැකියා අවස්ථා ලබා ගත හැකිව තිබෙන්නේ 46.2%කටය. මෙම කොටස් දෙකටම අයත් නොවන රැකියා සපයා ගත් 3.5%ක්ද සිටිති. https://units.kln.ac.lk/usdmu/index.php/graduate-employability/52-graduate-employability
ඉන්දියාවේ IIT ආයතනවලින් බිහි වන විද්යාර්ථීයන් ලෝකයේ තිබෙන ප්රධානතම පරිගණක ආයතනවල ප්රධාන විධායක නිලධාරීන් හැටියට කටයුතු කරයි. ලෝකයේ ප්රධාන සමාගම් 500න් (Fortune 500 Companies) සැලකිය යුතු ප්රමාණයක ප්රධාන තනතුරු (CEOs/Presidents) හොබවන්නේ ඉන්දියානුවන් ය. ලෝක බැංකුවේ ප්රධානියා ඉන්දියානුවෙක් ය. ජාත්යන්තර මූල්ය අරමුදලේ මීළඟ ප්රධානියා ඉන්දියානු කාන්තාවකි. ඉන්දියාවේ අධ්යාපන පද්ධතිය සකස් වී තිබෙන්නේ ඒ අන්දමට ය. මේවායින් පැහැදිලි වන එක් වැදගත් කාරණයක් නම් අපගේ විශ්වවිද්යාල රාමුවෙන් පිට හිතන ආයතන (Out of the box thinking) බවට පත් විය යුතු බවයි .
මීට ටික කලකට පෙර ලංකාවේ එක්තරා ප්රමුඛ පෙළේ පරිගණක මෘදුකාංග නිෂ්පාදන සමාගමක් සඳහා විවිධ ක්ෂේත්ර වලට අදාළ මෘදුකාංග ඉංජිනේරුවන් 500ක් පමණ බඳවා ගැනීම සඳහා පුවත් පත් දැන්වීමක් පල කොට තිබිණ. මෙම ඉංජිනේරුවන් අදාළ සමාගමේ දේශීය සහ විදේශීය ශාඛා සඳහා අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බව දැන්වීමේ සඳහන් කොට තිබීම හේතුවෙන් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය. එහෙත් සමාගමට සොයා ගැනීමට හැකි වී තිබුණේ උපාධිධාරීන් 182ක් පමණි. බොහෝ අපේක්ෂකයන් ඉගෙන ගෙන තිබෙන විෂයන් වැඩ ලෝකයේ ඉල්ලුමට නොගැළපෙන ඒවා බව එම සමාගම පසු අවස්ථාවක ප්රකාශ කොට තිබිණි.
ලංකාවේ ජාතික විශ්වවිද්යාල කිහිපයකත්, පෞද්ගලික උසස් අධ්යාපන ආයතන රාශියකත් පරිගණක උපාධි පාඨමාලා පැවැත්වේ. එහෙත් මේ සියලු ආයතන වල පාඨමාලා නවීකරණය වීමට අමතරව කල යුතු තවත් වෙනස් කම් රාශියක් ඇත. ඒ සඳහා අධ්යාපන බලධාරීන් මැදිහත් විය යුතුය. පෞද්ගලික අධ්යාපන ආයතන නියාමන ස්වාධීන අධිකාරියක අවශ්යතාවක් ද ඇත.
උදාහරණයක් හැටියට ලංකාවේ තිබෙන ප්රධාන පෙළේ පරිගණක සමාගම් ඔවුන්ගේ ව්යාපාර සැලසුම් අනුව ඉදිරි වසර පහ සඳහා අවශ්ය පරිගණක ඉංජිනේරුවන් සහ අනෙකුත් ශිල්පීන් කොපමණද යන්න පිළිබඳ සැලසුම් සකස් කිරීම සාමාන්ය ක්රියාවලියකි. ඒ අනුව ඔවුන්ගේ ඉදිරි ව්යාපෘති සඳහා පරිගණක ආරක්ෂණ ඉංජිනේරුවන් (IT Security), දත්ත විශ්ලේෂකයන් (Data Analysts), ජාල ඉංජිනේරුවන් (Network Engineers), පද්ධති පාලකයන් (System Administrators) යනාදි වශයෙන් ඔවුන්ට අවශ්ය ශිල්පීන් පිළිබඳ වාර්තා සකසති. බඳවා ගැනීමට අවශ්ය ශිල්පීන් සතු විය යුතු නිපුණතාවයන් කවරේද යන්න එම සමාගම් වලට අවබෝධයක් ඇත.
රජය/උසස් අධ්යාපන බලධාරීන් මැදිහත් වී ජාතික විශ්වවිද්යාල සහ අදාළ පෞද්ගලික පරිගණක සමාගම් සම්බන්ධීකරණය කොට අධ්යාපන ආයතන විසින් නිපදවන උපාධි ධාරීන්ට තිබිය යුතු නිපුණතා සැපිරෙන ආකාරයට පාඨමාලා නවීකරණය කල යුතුය. අදාළ පෞද්ගලික සමාගම් වල ව්යාපෘති වලට අදාළ පර්යේෂණ විශ්වවිද්යාලයේ උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ බවට පත් විය යුතුය.
මෙසේ නිපදවෙන උපාධිධාරීන් පෞද්ගලික සමාගම් වල රැකියා අවශ්යතා මෙන්ම වැඩ ලෝකයේ ඉල්ලුමට සරිලන ආකාරයට නිර්මාණය කිරීමට අවශ්ය පහසුකම් සැපයීම (Facilitation) රජයේ වගකීමක් හැටියට සලකා කටයුතු කල යුතුය. ඒ අනුව උපාධිය ලබා එළියට එන තරුණයාට බාධාවකින් තොරව ඔහු ලබා ගත් දැනුම පරිහරණය කිරීමට අවශ්ය වැඩබිම සකස් වී ඇත. මෙය පරිගණක අංශයට පමණක් නොව, අනෙකුත් සියලු අංශවලටද යොදා ගත හැක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වාර්ෂිකව අවශ්ය කෘෂිකර්ම උපාධිධාරීන් ප්රමාණය අනාගත අවශ්යතා වලට ගැළපෙන අන්දමට කෘෂි පීඨ වලට ලබා දිය හැකිය. අධ්යාපන පීඨ වලට සහ ගුරු අධ්යාපන උසස් ආයතන වලට රටේ අධ්යාපන පද්ධතියට අවශ්ය නිපුණතාවයන් සහිත ගුරුවරුන් සංඛ්යාව තීරණය කොට අදාළ උපාධි සහ ප්රායෝගික පුහුණුව ලබා දිය හැක.
ලංකාවේ විශ්වවිද්යාල පාඨමාලා සැකැසීමේදි හා ඉදිරිපත් කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අදාළ සිසුන්ට අවශ්ය ප්රායෝගික පුහුණුව ලබා ගැනීමට හැකි අයුරින් ඒවා සංවිධානය කිරීමයි. උදාහරණයක් හැටියට, වඩාත් පහසුකම් සහිත රෝහල්, රජයේ සහ පෞද්ගලික , පිහිටා තිබෙන්නේ කොළඹ දිස්ත්රික්කයේ ය. ඒ අනුව කොළඹ, ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්යාල සංවර්ධනය කොට අවශ්ය පහසුකම් ලබා දී උපරිම සිසුන් සංඛ්යාවක් වෛද්ය විද්යාව සඳහා බඳවා ගන්නේ නම් උසස් පෙළ සමත් බොහෝ සිසුන් සංඛ්යාවක් එකවර බඳවා ගැනීමටත් , ප්රායෝගික පුහුණුව ලබා දීමටත් හැකිය. එම විශ්වවිද්යාල වල තිබෙන කලා සහ මානව ශාස්ත්ර පීඨ රජරට , පේරාදෙණිය , යාපනය වැනි විශ්වවිද්යාල වලට ලබා දී ඒවාට අවශ්ය සිසුන් එම විශ්වවිද්යාල යොමු කල හැක. කෘෂිකර්ම සහ වැවිලි අංශ වලට අදාළ පාඨමාලා සඳහා සබරගමුව , ඌව වෙල්ලස්ස, නැගෙනහිර වැනි විශ්වවිද්යාල වෙන් කල හැක. මේ අන්දමට උසස් අධ්යාපන පාඨමාලාව සහ සහ විශ්වවිද්යාල පද්ධතිය ප්රතිසංවිධානය කිරීම තුල ඉදිරි ආර්ථික හා සමාජ අභියෝග වලට විසඳුම් සෙවීමට හැකි වනු ඇත.
මෙතෙක් ලංකාවේ සිදු වූයේ බලයේ සිටින රජයේ පාලකයන් සහ අධ්යාපන ඇමතිවරුන්ට හිතෙන අන්දමට , දේශපාලන වාසි ගැන සලකා විශ්වවිද්යාල විවිධ ප්රදේශවල ඇති කොට ඇත. එහෙත් උපාධි අපේක්ෂකයන්ට අවශ්ය ප්රායෝගික හෝ සායනික පහසුකම් ලබා දීමට වගේම අවශ්ය අධ්යයන කටයුතු කිරීමට යෝග්ය පරිසරය පිළිබඳ ඔවුන් කිසිදු අවධානයක් යොමු නොකලේය. විශ්වවිද්යාල සිසුන් පහසුකම් ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ එම නිසාය . ආචාර්ය මහාචාර්යවරුන් විශ්වවිද්යාල අතහැර යන්නේ ඔවුන්ට ලැබිය යුතු පහසුකම් නොලැබෙන නිසාය.
රටේ අධ්යාපනය විශේෂයෙන්ම උසස් අධ්යාපනය පිළිබඳ අලුතෙන් සිතීමට කාලය පැමිණ ඇත. එහෙත් බලයේ සිටින පාලකයන්ට මේවා නොතේරේ. මේ සඳහා රාමුවෙන් පිට සිතිය හැකි රජයක් (A government that thinks out of the box) බිහි කර ගත යුතුය. අධ්යාපනය සහ සෞඛ්ය සඳහා වාර්ෂික අයවැයේ වැඩිම වියදම් ප්රතිශතය ලබා දෙන රජයක් බිහි කර ගත යුතුය. අපි සියලු දෙනා ඒ සඳහා අවශ්ය දායකත්වය ලබා දෙමු. පෙළ ගැසෙමු.

ශාන්ත ජයරත්න
ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්යෙෂ්ඨ උපදේශක
16.1.2024
shantha323@gmail.com










