ගෝඨාභයගේ තවත් කෙරුවාවක් හෙළි වෙයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීය ලෙස දායකත්වය ලබාදුන් හමුදා සෙබළෙකු, ගෝඨාභය රාපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඉතා අසාධාරණ ලෙස බලහත්කාරයෙන් සේවයෙන් ඉවත් කිර ඇති අතර එම සෙබළා මේ වනවිට ඉතා අසරණ භාවයට පත්ව සිටී.

තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් එවකට සෞඛ්‍ය අමාත්‍යව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මගින් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

පොළොන්නරුව මනම්පිටිය 272 දළුකාන ලිපිනයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු වන ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.පී. කුලරත්න මහතා 2000 වසරේ ජූනි 10වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට ආධුනික බෙළෙකු ලෙස එක් වී ඇති අතර තොප්පිගල, යාපනය, මුලතිව් ඇතුළු ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිමින් යුද්ධය නිමා කිරීමේ සටනට උර දුන් අයෙකි.

යුධ හමුදාවේ විශේෂ පාඨමාලා කිහිපයක්ම හදාරා ඇති තමන් වසර 10ක් සේවය කරමින් සිටියදී නිවසේ ඥාතීන්ට ඇති වූ ගැටලු තත්වයක් නිසා ඒ ආසන්න කඳවුරකට ස්ථාන මාරුවක් ඉල්ලා සිටියදී පුනරීන් හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු තමන් හමුදාවෙන් ඉවත් වූ බවට බලපෑම් කර ලිපිවලට අත්සන් ගෙන හමුදාවෙන් ඉවත් කළේ තවත් වසර 10ක සේවා කාලයක් ඉතිරිව තිබියදී බවද කුලරත්න මහතා පවසයි.

මීට වසර තුනකට පෙර යුද හමුදා උසස් නිලධාරියෙකුගේ බලපෑම මත ඉවත් වීමට සිදු වූ කුලරත්න මහතාට තම දරු පවුල ජීවත් කරවීමට මෙතෙක් ස්තීර රැකියාවක් නොමැති අතර ඒ සඳහා ලොතරැයි අලෙවි කිරීම, රට කජු අලෙවිය, මාළු අලෙවිය වැනි තාවකාලික රැකියා සිදු කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ “මාව බලහත්කාරයෙන් තමා හමුදාවෙන් ඉවත් කළේ. එක් උසස් හමුදා නිලධාරියෙකුගේ ක්‍රියාවන් නිසා මගේ දරු පවුල අසරණයි. ඒ අය ජීවත් කරවන්න මට රස්සාවක් නැහැ. දැන් මාළු විකුණලා කීයක් හරි හොයා ගන්න මුදලින් තමා අපි ජීවත් වෙන්නේ. මගේ එකම ඉල්ලීම මට තව වසර 10ක් යුද හමුදාවේ සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා. මේ ගැන මම ලිඛිතව ඉල්ලීම් කළා. නමුත් තවම උත්තර නැහැ. ජනාධිපතිවරයාගෙන් මම වැඳලා ඉල්ලන්නේ මගේ රස්සාව දෙන්න කියලා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn