විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත බාරදී ඇති බවට රාජ්ය ඇමති ඉන්දික අනුරුද්ධ පසුගියදා මාධ්ය වෙත ප්රකාශ කළද එවැනි යෝජනාවක් තමන් වෙත ලැබී නැතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියෙන් පසු 2024 පෙබරවාරි මාසයට පෙර විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බව රාජ්ය ඇමති ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් පවසා තිබිණි.
කෙසේ වෙතත්, විදුලි බිල අඩු කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති රාජ්ය ඇමතිගේ ප්රකාශ මහජන කොමිෂන් සභාව විසින් ප්රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙහි ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් පවසන්නේ එවැනි කිසිදු යෝජනාවක් විදුලි බල මණ්ඩලයෙන් ලැබී නොමැති බවය.
ඊයේ (2024 ජනවාරි 08) වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බව ඔහු වැඩිදුරටත් සහතික කර පවසයි.
කෙසේ වෙතත් පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක්ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වනවිට රුපියල් කෝටි අටදහසකට (රු. කෝටි 8,000) වඩා ලාභයක් වාර්තා කර ඇත.
මණ්ඩලය ලබන රුපියල් කෝටි 1,800ක පාඩුව පියවා ගැනීමට යැයි කියමින් ඉකුත් වසරේ අගෝස්තු 09 වැනිදා තුන්වැනි වරටත් විදුලි ගාස්තුව ඉහළ දමනු ලැබීය.
ඉංජිනේරුවෝ පවසන්නේ, එම ගාස්තු ඉහළ දැමීමෙන් පසුව දිගින් දිගටම වැසි ලැබීම නිසා ජල විදුලිය වැඩිපුර නිපදවා ගැනීමට හැකි වීමත් 147%ක පමණ අති විශාල ප්රතිශතයකින් ගාස්තු ඉහළ දැමීමත් නිසා මණ්ඩලය මේ සා විශාල ලාභයක් ලැබූ බවය.
මේ වනවිට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට විදුලි බිල් ගෙවා දැමීමට නොහැකි වීමත් මාසයක් ගෙවුණු පසු රතු බිල් නිකුත් කිරීමත් නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 80%කටම රතු බිල් ලැබෙන බවත් ඔවුහු පවසයි.









