ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නීතිවිරෝධීව අත්තනෝමතික ලෙස හා ප්රජාතන්ත්රවිරෝධී ලෙස කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 පිළිබඳව විභාගය අද (29) පෙරවරු 10.00ට ආරම්භ විය.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබේ.
හෙට (30) සහ දෙසැම්බර් 01, 06, 13 යන දිනවල මෙම පෙත්සම් විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.
ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික ජන බලවේග ලේකම් නිහාල අබේසිංහ යන අය විසින් පෙත්සම් ගොනු කර ඇති අතර ජනාධිපති නීතීඥ නයිජල් හැච් සහ නීතීඥ ශාන්ත ජයවර්ධන ජාතික ජන බලවේගයේ පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිති.
නීතිපති, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ජාතික ජන බලවේගය විසින් පසුගිය මාර්තු 14 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තීරණය කර තිබූ අතර එතැන් පටන් විනිසුරුවරුන් නොපැමිණීම, ඉවත්වීම සහ විවිධ තාක්ෂණික කරුණු මතු කරමින් මෙම පෙත්සම් විභාගය අද දිනය දක්වා මාස 08ක් තිස්සේ කල් යන ලදී.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින්ද මේ සඳහා පෙත්සම් ඉදිරිපත් කර තිබේ.










