රු. මිලියන 349ක බාල ඖෂධ භාවිතයෙන් ඉවතට!

රු. මිලියන 349ක බාල ඖෂධ භාවිතයෙන් ඉවතට!

රජයේ රෝහල් සඳහා නිකුත් කර තිබූ රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවට අනුව අනාවරණය වී තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 32ක් වටිනා තත්වයෙන් බාල ඖෂධ පසුගිය 2022 වසර තුළ තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇති බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඖෂධ තත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විටත් එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිත කර අවසන් කර තිබූ බවද විගණනය මඟින් අනාවරණය කර ඇත.

මේ අතර 2022 වර්ෂය අවසන් වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වා ගෙන යාමේ දී අත්‍යවශ්‍ය තනතුරු අතරින් වෛද්‍ය නිලධාරීන් 1,331ක පුරප්පාඩු පැවතුණ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77ක්, හෙද නිලධාරීන් 1,759ක්, හෙද සොයුරු සොයුරියන් 275ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරුන් 136ක්, වෘත්තීය චිකිත්සකවරු 68ක් ඖෂධවේදීන් 126ක් සහ විගණන ශිල්පීන් 270ක්ද පුරප්පාඩු වී තිබූ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර 2022 වර්ෂයේ දී පැමිණීම සහ පිටවීම සනාථ කිරීම සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමට පියවර ගත යුතු ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැටුප් සඳහා රුපියල් මිලියන 43,356ක් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

Facebook
Twitter
LinkedIn