ලංකාවේ බොහෝ අය නොදන්නා අරුම පුදුම සමුපකාරය ගැන ඔබවත් අසා තිබෙනවා ද…

ලංකාවේ බොහෝ අය නොදන්නා අරුම පුදුම සමුපකාරය ගැන ඔබවත් අසා තිබෙනවා ද…

සමුපකාරය පිළිබඳ ලංකාවේ බොහෝ අයට තිබෙන්නේ ඍණ ආකල්පයකි. එයට සාධාරණ හේතු ද නැතුවා නොවේ. ඒවා සම්බන්ධව අමුතුවෙන් කිව යුතු නැත. මා සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ පසුගිය දා මා විසින් අධ්‍යයන කටයුත්තක් සඳහා (Research) තෝරාගත් සමුපකාරය සමිති කිහිපයක කළ සංචාරයක දී ලබා ගත් තොරතුරු කිහිපයක් ඔබ සමඟ හුවමාරු කරගැනීමට ය.

මාගේ පළමු සංචාරය ආරම්භ වන්නේ අකුරැස්ස විවිධ සේවා සමුපකාරය සමිතියෙනි. මෙම සමිතිය තෝරා ගැනීමට හේතුව අකුරැස්ස සමුපකාරය ලංකාවේ පළමු සහ එකම ඩිජිටල්කරණය වූ සමුපකාරය වූ නිසාවෙනි. මෙම සමුපකාරය සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල බලය ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබා ගන්නේ 2005 වර්ෂයේ ය. මෙම සමිතිය පරිගණක ගත කිරීම ආරම්භ වන්නේ 2007 වැනි ඈත කාලයක යි. 2010 වන විට සම්පූර්ණ පද්ධතියම ජාල ගත කොට අවසන් ය. ඒ වන විට ලංකාවේ නම් දරා තිබෙන සුපිරි වෙළඳසැල් පවා එම තත්ත්වයට ලඟා වී නොතිබුණි. අද වන විට සියළු වාර්තා, ගිණුම්, තොග පාලනය, සේවක වැටුප්, අර්ථසාධක ගෙවීම්, බැංකු නිෂ්කාශන ඇතුළු සියළු කටයුතු සිදුවන්නේ පරිගණක ජාලයක් හරහාය.

මෙම සමූපකාර සමිතිය අවුරුදු 18ක් පාලනය කළේ ජනතා විමුක්ති පෙරමුණ වන අතර වර්ථාමානයේ ජාතික ජන බල වේගය නියෝජනය කරමින් තේරී පත්වූ අධ්‍යක්ෂ මණ්ඩලයකින් එය පාලනය කරයි. බොහෝ නිලවරණ වලදී සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය නිතරඟයෙන් තේරී පත් වී තිබීම මෙහි ඇති විශේෂත්වයකි. එහි සභාපති හැටියට කටයුතු කරන ඩබ්.ටී.කේ. රාජපක්ෂ මහතා මෙම අවුරුදු 18 පුරාවට සභාපති හැටියට තේරී පත්වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙම සමුපකාර සමිතිය සතුව සාමාජිකයන් 42,000 ක් සිටී. මොවුන් වෙනුවෙන් සමුපකාරය සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කරයි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය මුලින්ම බලය ලබා ගන්නා අවධිය වන විට සමුපකාරය බංකොලොත් වී තිබී ඇත. මිලියන 52 ක මූල්‍ය හා වෙළෙඳ ණය ගෙවීමට තිබී ඇත. රුපියල් 400 යේ චෙක් පතක් ගෙවීමට පවා ඔවුන්ගේ බැංකු ගිණුමේ මුදල් නොතිබුණු තත්ත්වයක් තිබුණු බව මා සමඟ පැවත් වූ සාකච්ඡාවේ දී සභාපති වරයා ප්‍රකාශ කළේ ය. සේවක විශ්‍රාම පාරිතෝෂික වසර ගණනාවක් ගෙවා නොතිබිණි. විශාල ණය බරක් සහිතව භාර ගත් සමුපකාරය මේ වන විට අකුරැස්ස ප්‍රදේශයේ ශක්තිමත්ම ශාඛා ජාලයක් හිමි (ශාඛා 41 ක් සහ ග්‍රාමීය බැංකු 14ක්) සමුපකාර සමිතිය බවට පත් වී ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නා විට සිටි සේවක පිරිසෙන් එක් සේවකයකු පමණක් විනය විරෝධි මූල්‍ය චෝදනාවකට වැරැදිකරු වීම හේතු කොට ගෙන සේවයෙන් ඉවත් කිරීමට සිදු වූ බවත් එකල සිටි අනෙකුත් සියළු සේවකයින් රඳවා තබා ගනිමින් සමුපකාර සමිතිය අද තිබෙන තත්ත්වයට පත් කිරීමට ඔවුන් දායක කරගත් බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

අකුරැස්ස නගර මධ්‍යයේ පිහිටි සමුපකාරය සමිතියේ අංග සම්පූර්ණ සුවිසල් මූලස්ථාන ගොඩනැගිල්ල සමිතිය සතුය. නගරයේ තොග බඩු සැපැයුම්කරු බවට සමුපකාරය පත්වී තිබෙන තත්ත්වයක් ඇත. අනෙකුත් සිල්ලර වෙළෙන්දන් තොග මිල දී ගන්නේ සමුපකාරයෙනි. දින දෙකකට වරක් සමුපකාරය සහල් ලොරියක් අලෙවි කරයි.
අකුරැස්ස නගරයේ සහ අවට නගර වල වෙළෙඳපොළ මිල තීරණය කරන්නේ අකුරැස්ස සමුපකාරය යි. පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් අභිබවමින් දවසේ සෑම මොහොතකම පාරිභෝගිකයන්ගෙන් පිරී තිබෙන සමුපකාරය සුපිරි වෙළෙඳසැල හොඳම බඩු අඩුම මිලට ලබා දෙයි. අකුරැස්ස නගරයේ ඇති නම් දැරූ සුපිරි වෙළඳසැල් වල ශාඛා වල මා කළ සංචාරයේ දී පෙනී ගියේ ඒවායේ පාරිභෝගිකයන් ඇත්තේම නැති තරම් බවය. වාහන ගාල් හිස්ය. අකුරැස්ස සමුපකාරය ප්‍රදේශයේ ජනයාගේ සියළු පාරිභෝගික අවශ්‍යතා සපුරන ‘One Stop Shop’ එකකි.

අකුරැස්ස සමුපකාරය සාමාජිකයන්ගේ සහ ප්‍රදේශයේ පාසැල් යන දරුවන්ට හා ගුරුවරුන් සඳහා ගාස්තුවෙන් හරි අඩක් අයකරන ආසන 56 බස් රථ තුනක් දින පතා පාසැල් සේවය සඳහා යොදවා ඇත. තවත් බස් රථ දෙකක් සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනයේ යොදවා තිබෙන අතර මෙම බස් රථ වල ගමන් ගන්නා සියළු ආගමික පූජක පක්ෂය සඳහා ගමනාන්තය දක්වා නොමිලයේ ප්‍රවාහනය සපයා ඇත.

සමුපකාරය විසින් සාමාජිකයන් 09 දෙනා බැගින් ග්‍රාමීය කාන්තා කුඩා කණ්ඩායම් 800ක් සකස් කොට ඔවුන්ට ඉතා අඩු පොලියකට ස්වයං රැකියා ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඔවුන්ගේ නිෂ්පාදන සියල්ල සමුපකාරය මිල දී ගනී. නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂණය සමුපකාරය විසින් සේවයේ යොදවා ඇති තාක්ෂණික නිළධාරීන් සපයයි.
ප්‍රදේශයේ කුඩා තේ වතු ගොවියන් සඳහා ඉතා පහසු ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඉඩම් අක්කර කාල බැගින් තෝරා ගෙන අවශ්‍ය පැල, පොහොර, රසායනික ද්‍රව්‍ය, තාක්ෂණය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සමුපකාරය සපයයි. සමුපකාරයට කොටස් හිමි තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගොවියාගේ තේ දලු සාධාරණ මිලකට මිල දී ගනී.

සමුපකාරය මගින් ප්‍රදේශයේ රෝහල්, පාසැල්, පංසල් සහ සාමාජික සුබසාධනය සඳහා විශාල වැඩකොටසක් සිදු කරයි. කොවිඩ් වසංගත සමයේ සහ ගංවතුර කාලවල දස දහසකට වඩා ග්‍රාමීය ජනයාට වියලි ආහාර පාර්සල් වගේම පිසූ ආහාර සැපැයීමට සමුපකාරය කටයුතු කළ බව සාකච්ඡාවේ දී හෙළිදරව් විය. සාමාජික දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන කටයුතු කරගැනීමට ජංගම දුරකථන, ඉන්ටර්නෙට් පහසුකම්, ටැබ් පරිගණක මිලදී ගැනීමට නාමික පොලියකට ණය ලබා දීමට කටයුතු කොට ඇත.

සමුපකාරය කිසිදු බැංකු ණයක් හෝ අයිරාවක් මෙම අවුරුදු 18 තුළ ලබා ගෙන නැත. සමුපකාරයේ ප්‍රසම්පාදන අංශය සියළු තොග කොළඹ සැපැයුම් කරුවන්ගෙන් අත්පිට මුදලට මිල දී ගනී. ඒ හරහා ලැබෙන ඉහළ වට්ටම් හේතුවෙන් සාමාජිකයන්ට භාණ්ඩ ඉතා අඩු මිලට සැපැයීමට හැකි වී ඇත. එම නිසා අනෙකුත් වෙළෙඳුන්ටද සමුපකාරයේ මිලට භාණ්ඩ අලෙවි කිරීමට සිදුව ඇත.

අකුරැස්ස සමුපකාරය මෙතෙක් කිසිදු මුදල් වර්ෂයක අලාභ ලබා නැත. සෑම වසරකම ඔවුන් ලබන ලාභයෙන් වැඩි කොටස සාමාජික සුබසාධනය සඳහා යොදවන බව සභාපති වරයා ප්‍රකාශ කළේ ය. තව වසර දෙකක් තුළ සියළු සායන සහ ශල්‍යාගාර පහසුකම් වලින් සමන්විත විශේෂඥ වෛද්‍ය පහසුකම් සහිත සමුපකාරය රෝහලක් බිහිකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇත. එමෙන්ම අකුරැස්ස සමුපකාරය සමිතිය රජයේ සමූපකාර දෙපාර්තමේන්තුවේ නිරන්තර ඇගැයීමට ලක් වී තීබීම පැසසිය යුතු ය.

මෙරට ඇති බොහෝ සමුපකාර බොහෝ අයට ‘ඇලජික්’ වී ඇත්තේ ඒ තුළ ඇති හොරකම දූෂණය සහ වංචාව නිසයි. එමෙන්ම ගුණාත්මක මට්ටමින් ඉතා අඩු භාණ්ඩ විකිණීමට එම බොහොමයක් සමුපකාර පෙළඹී තිබීමයි. ඒවා අනෙකුත් පෞද්ගලික අංශය සමඟ කරට කර තරඟයක් දී පාරිභෝගිකයා දිනා ගැනීමට සූදානම් නොවීමයි. අක්‍රමවත්, නිද්‍රාශීලී සේවක පිරිස් සිටීම නිසයි. නව තාක්ෂණය යොදා නොගැනීම, නවීන ගෙවීම් ක්‍රම භාවිතා නොකිරීම යි. සියල්ලටම වඩා පක්ෂ දේශපාලනය සමුපකාරය තුළට පැමිණීම යි.

එය එසේ නොවන විටක තත්වය වෙනස් බවට එක් උදාහරණයක් අකුරැස්ස විවිධ සේවා සමුපකාරය සපයා ඇත. මෙහි රහස නිවැරැදි කළමනාකරණය, වංචාව, දූෂණය, හොරකම පිටු දැකීමයි. පක්ෂ දේශපාලනය සමූපකාරයට වද්දා නොගැනීම යි. මෙතෙක් මෙම තොරතුරු ලංකාවේ බොහෝ ජනයා නොදන්නෙ සමුපකාරය පක්ෂ දේශපාලනය සඳහා ඔවුන් යොදා නොගැනීම විය හැක.

සමුපකාරය නව ලිබරල්වාදයේ පරම සතුරා වීමට ප්‍රධාන හේතුව පෞද්ගලික අංශය පාලනය කිරීමට සමුපකාරයට ඇති හැකියාව ඔවුන් දන්නා නිසයි”

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
25.11.2023
shantha323@gmail.com
(හුවමාරු කල හැක

Facebook
Twitter
LinkedIn