මෙවර අයවැයත් ණය ගැනීම හා විකිණීම මුල් කරගත් පැරණි පාරේමයි – අනුර දිසානායක

මෙවර අයවැයත් ණය ගැනීම හා විකිණීම මුල් කරගත් පැරණි පාරේමයි – අනුර දිසානායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය රට තුළ ඇති වී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදයන්ට ස්තීරසාර විසඳුම් ලබා දෙනවා වෙනුවට පැරණි අසාර්ථක ගමනේම නැවත අපේ රටත් අපේ රටේ ජනතාවත් ආර්ථිකයත් තල්ලු කිරීමක් බවට පත් වී තිබෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (13) අයවැය කතාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ මුල් පරිච්ඡේදය සමන්විත වී තිබුණේ ඔහු සහ ඔහු නියෝජනය කරන ආණ්ඩුව දීර්ඝ කාලයක් අපේ රට පත් කොට තිබෙන ආර්ථික විනාශය පිළිබඳ ඔවුන්ගේ පාපොච්චාරණය. අවුරුදු 75ක් වරින්වර මාරුවෙන් මාරුවට බලයට පත් වූ කණ්ඩායම් විසින් අපේ රටට ඇති කරල තියෙන විනාශය තමයි ඔහු පෙන්වා දෙනු ලැබුවේ.

අනතුරුව ඔහු ඉදිරිපත් කරනවා ඒ 75 වසරක විනාශකාරී ගමනෙන් මිදෙන්න ඕන කියලා. හැබැයි ඒ 75 වසරක විනාශකාරී ගමන ඔහු පෙන්නුම් කරලා තිබුණේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම හා විකිණීම මත තමයි තමන්ගේ ආර්ථිකය පදනම් වී තිබුණේ කියලා. නමුත් අනතුරුවත් සිදු වී තිබෙන්නේ කුමක්ද? ඔහුගේ සමස්ත යෝජනා සමන්විත වී තිබෙන්නේ ණය ගැනීම, විකිණීම කියන මාවතේම තමයි.

විශේෂයෙන්ම ඔහු අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරනවා, විසර්ජන පනතේ බිලියන 3,900ක් ණය ගැනීමට අපේක්ෂා කරලා තිබුණා. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ඔහු කියනවා තවත් බිලියන 3,400කින් ණය ගැනීම සීමාව වැඩි කරන්න කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ කෝටි 340,000කින් ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා ඔහු යෝජනා කර තිබෙනවා. ඒ නිසා ඔහු ඉදිරිපත් කරන ආර්ථික ඛේදවාචකය ඒ පාපොච්චාරණයේම යළි දිගුවක් තමයි ඔහුගේ අයවැය යෝජනා තුළ සමන්විත වී තිබෙන්නේ.

ඒ නිසා රට තුළ ඇති වී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදයන්ට ස්තීරසාර විසඳුම් ලබා දෙනවා වෙනුවට පැරණි අසාර්ථක ගමනේම නැවත අපේ රටත් අපේ රටේ ජනතාවත් ආර්ථිකයත් තල්ලු කිරීම තමයි මෙහෙයවීම තමයි ඔහුගේ ආර්ථික ගමන බවට පත්වී තිබෙන බව අපට මෙම අයවැය ලේඛනයෙන් පෙන්නුම් කරන්නේ.”

Facebook
Twitter
LinkedIn