ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්රික් සංවිධායක, අරනායක ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී බන්දුල සපරමාදු නම් සමෘද්ධි නිලධාරියා කෑගල්ල ප්රාදේශීය ලේකම්ට පුටුවක් ඔසවා පහර දීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඔහු දෙබත්ගම වඩුපොල වසමේ සේවය කරන සමෘද්ධි නිලධාරියා වන අතර, අස්වැසුම ප්රතිලාභ ලැබීමට නුසුදුසු පුද්ගලයෙකු එම ප්රතිලාභය ලබා දී ඇති බවට එම වසමේ සමෘද්ධිලාභීන්ගෙන් ඔහුට එරෙහිව ප්රාදේශීය ලේකම් වෙත පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව ප්රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත විසින් එම පැමිණිල්ල විභාග කිරීම සඳහා මෙම සමෘද්ධි නිලධාරියා, ග්රාම නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි යන තිදෙනා ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබේ. ඔවුන් ඉදිරිපිට ප්රාදේශීය ලේකම් විසින් පැමිණිල්ල විභාග කරමින් සිටින අතරතුර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්රික් සංවිධායක, උක්ත සමෘද්ධි නිලධාරියා නැගී සිට එහි තිබූ පුටුව ඔසවා ප්රාදේශීය ලේකම්ට පහර දීමට තැත් කර ඇත. ඉන් පසු පැමිණිලි විභාගය ගාල ගෝට්ටියක් බවට පත්වී තිබේ.
ඒ අවස්ථාවේම කෑගල්ල ප්රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත විසින් කෑගල්ල මූලස්ථාන පොලිසියට දුරකථනයෙන් පැමිණිලි කර ඇත. ඒ අනුව පෙරවරු 10.30ට පමණ ප්රාදේශීය ලේකම් කාර්යාලය පැමිණි පොලිස් නිලධාරීන් ප්රාදේශීය ලේකම්ගේ පැමිණිල්ල සටහන්කරගෙන ගොස් ඇත.
පසුව දහසල් 12ට පමණ ප්රාදේශීය ලේකම් තමන්ට පහර දුන් බව සඳහන් කරමින් උක්ත සමෘද්ධි නිලධාරියා කෑල්ල දිස්ත්රික් රෝහලේ 05 වාට්ටුවට ඇතුළු වී තිබේ.
සිද්ධිය සම්බන්ධ විභාගය කෑගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් සිදු කරමින් සිටී.










