හරියට Bat එක අල්ලන්න

හරියට Bat එක අල්ලන්න

ඕනෑම ක්‍රිඩාවක ජයග්‍රාහි අවසානයක් අත්පත් කර ගැනිමට නම් සිත සහ කය යන දෙපාර්ශවයෙහිම මනා ඒකාබද්ධතාවයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම එක් එක් ක්‍රිඩාවට අදාල වන techniques මනා ලෙස practice කර තිබීම මගින් ඒ ඒ ක්‍රිඩාවේ විශිෂ්ටයන් බිහිකරනු ලබයි.

ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වනු ලබන්නේ මහත්වරුන්ගේ ක්‍රිඩාව (Gentlemen’s game) ලෙසිනි. එය එසේ කියන්නේ ක්‍රිකට් ආරම්භ කළ එංගලන්තයේ ලෝඩ්ස් පිටියට ටයි කෝට් ඇඳගත් සුදු මහත්තුරු පැමිණ තරඟ නරඹන නිසා නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියා කියන්නේ එය සිත, කය හා වචනයද යන තුන් පාර්ශවයේම මනා බැඳීමක් සහිත කන්ඩායම් ක්‍රිඩාවක් නිසා යැයි මේ ලියුම්කරුට පහදා දුන්නේ මීට දශක කිහිපයකට පෙර කලම්ඹු ක්‍රිකට් ක්ලබ් (CCC) ක්‍රීඩාංගනයේ පුහුණු දැල් අසළ දී ක්‍රීඩාවේ basics කියා දුන් නෙල්සන් මෙන්ඩිස් ගුරුතුමා විසිනි.

දශක කිහිපයක ඇවෑමෙන් දැඩි ලෙස ෆැරැන්චයිස්කරණයට සහ වේගවත් ක්‍රිඩා රටාවකට (Pyjama cricket) පරිවර්තනය වී ඇති ක්‍රිකට් ක්‍රිඩාව මේ වනවිට පිතිකරුවන්ගේ ක්‍රිඩාවක් බවට පත්වී ඇති බව ලියුම්කරුගේ අදහසයි. ක්‍රිකට් පිතිකරණයේදි විශිෂ්ට පිතිකරුවෙකු බිහිවීමේ අත්‍යාවශ්‍ය වන මූලික සිද්ධාන්තයක් වන්නේ පිතිකරු විසින් බැට් එක අල්ලන විදිහයි (Bat grip technique). ක්‍රිකට් ක්‍රිඩකයෙකු පිත්ත අල්ලන විදිහ එල්ලේ හෝ බේස්බෝල් ක්‍රිඩකයෙකු පිත්ත අල්ල විදිහට වඩා වෙනස් ආකාරයක් වන අතර හරි විදිහට බැට් එක අල්ලා නොගත් කුඩා දරුවන් දස දහස් ගණනක ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය අකාලයේ මිලින වීම අනිවාර්යය වේ.

පිතිකරණයේදි හරි විදිහට බැට් එක ඇල්ලීමේ වැදගත්කම ලියුම්කරු විසින් මතුකරන්නේ මේ දිනවල මාතෘකාවක් කිරිමට වෙරදරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නයටද හරි විදිහට බැට් එක ඇල්ලීම අතිශය වැදගත් වන බැවිනි. සරලව පවසන්නේ නම් මේ වනවිට මාධ්‍ය විසින් උඩට අරගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය අප විසින් හරි තැනින්, හරි විදිහට අල්ලා නොගත හොත් එය ක්‍රිකට් ක්‍රිඩාවේ පමණක් නොව සමස්ත රටේම අනාගතයට ඉතාමත් Negative විදිහට බලපානු ඇති බවයි.

ලෝක කුසලන තරඟාවලියේදි අප ලැබූ අමිහිරි පරාජයන් නිසා විස්සෝපයට පත්ව සිටින සියලු දෙනා මේ ඇතිවී තිබෙන තත්ත්වය වෙනස් කළ හැක්කේ ශම්මි වෙනුවට අර්ජුන ලෙස දුටුවහොත් එය නිසැක ලෙසම වැරදි තැනින් බැට් එක ඇල්ලිමක් ම වනු ඇත. මක්නිසාද යත් අද Teams දෙකක් ලෙස බෙදී සිටියත් 90 දශකයේ මැද භාගයේ සිට අර්ජුන සහ තිලංගලා (ශම්මි සිල්වා යනු තිලංගගේ clone එක වේ) සෙල්ලම් දැම්මේ එකම ටීම් එකක් ලෙසය. අර්ජුන ක්‍රිඩා පිටිය තුළ සෙල්ලම් දමද්දි Cricket board එකේ සෙල්ලම කරගෙන ගියේ තිලංගලාය. අර්ජුන පිටිය තුළ දැමු සෙල්ලම් නිසා ටයිම් අවුට් (Timed out) වූ මහානාමලා, ගුරුසිංහලා, පියල් විජේතුංගලා, ඉන්දික ද සේරම්ලා ගෙන් අවශ්‍ය අයට වැඩිදුර විස්තර ලබාගත හැක. එමෙන්ම තිලංගලා විසින් රිටයර්ඩ් හර්ට් (Retired hurt) කළ හේමක අමරසුරියලා සහ ආනා පුංචිහේවා වැනි මහත්වරුන් නම් hurt වුනත් වචනය පාලනය කරගෙන නිශ්ශබ්දවම සිටිනු ඇත.

එමෙන්ම ක්‍රිකට් බෝඩ් ප්‍රශ්නයේදී පාර්ලිමෙන්තුව තුළ සිටින රනිල්ලා, රාජපක්ෂලා සහ සජිත්ලාගේ ත්‍රීසම් (Threesome) ආදර අන්දරය නිවැරදිව කියවා ගතහොත් රටට සහ ක්‍රිකට්වලට ආදරේ පුරවැසියන් හට බැට් එක හරි විදිහට අල්ලා ගැනීමට පුලුවන්වනු නොඅනුමානය.

හරි තැනින් හරි විදිහට බැට් එක අල්ලා ගත් සැමට ශම්මි වෙනුවට අර්ජුන ආදේශකය එහා ගිය තුන්වන මාවතක් (Third way) පෙනෙනු ඇත.

එය ක්‍රිකට් මෙන්ම රටද Champions වන මාවතයි.

එය දූෂිතයන්ගේ මඩවළ නොව මහත්වරුන්ගේ දේශයයි.

දෙව්මිත් රාංසිංහ ලියයි.

Facebook
Twitter
LinkedIn