චීන බලපෑම ශ්‍රී ලංකාව තුළ නවත්තන්න ඇමරිකාවෙන් අදානිට ඩොලර් මිලියන 550ක්!

චීන බලපෑම ශ්‍රී ලංකාව තුළ නවත්තන්න ඇමරිකාවෙන් අදානිට ඩොලර් මිලියන 550ක්!

ඉන්දියානු සාගරය තුළ දිනෙන් දින වර්ධනය වන මහජන චීනයේ යුධ හා ආර්ථික ව්‍යාප්තවාදයට එරෙහිව ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක පිහිටා ඇති කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සංවර්ධනය සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් අදානි සමාගම හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව එක්සත් ජනපද නිලධාරියෙක් බදාදා නිවේදනය කර ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අස්ථාවර භාවය හමුවේ ඉන්දියාව, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මෙරට තුළ චීනයේ බලපෑම අවම කිරීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කර සිටි. මේ අතර ලෝක බැංකුව විසින් මේ වසරේ පෙබරවාරි මාසයේදී පමණක් පුද්ගලික බැංකු තුනක් සඳහා ඩොලර් මිලියන 400ක් ලබා දීමෙන් අනතුරුව, තවත් ඩොලර් මිලියන 150ක් රටේ මූල්‍ය කේෂ්ත්‍රයේ ආරක්ෂාව පතා යයි පවසමින් ලබා දී ඇත.

1802 මාර්තු 25 වැනිදා ප්‍රංශය, නෙදර්ලන්තය හා මහා බ්‍රිතාන්‍යය විසින් අත්සන් කරනු ලැබූ ඒමියන්ස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ප්‍රංශයට හිමිවිය යුතුව තිබුනත්, උපක්‍රමශීලිව එය තමන් යටතට ගැනීමට මහා බ්‍රිතාන්‍ය සමත් වුයේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන යතුර තමන්ට හිමිවූවා යයි උදම් ද අනමිනි. එහෙත් එවකට ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශ පාලනය කළ ලන්දේසි පාලනය තම වාන්සල්වරයා විසින් ලංඩනයේ සුප්‍රසිද්ධ කිව් මාලිගයේ සිට එවා තිබූ ලිපිය ප්‍රතික්‍ෂේප කරමින් තම යටත් ප්‍රදේශ බ්‍රිතාන්‍යය හමුදාවන්ට ලබා දීම ප්‍රතික්‍ෂේප කරනු ලැබුවද පසුව බ්‍රිතාන්‍ය හමුදා හා රාජාධිරාජසිංහ රජුගේ සිංහල හමුදා සහය ඇතිව ලන්දේසින් පලවා හරිනු ලැබිණි. ඉතා ඈත අතීතයේ සිටම මහා බලවතුන් ශ්‍රී ලංකාව නමැති මේ කුඩා දිවයින අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මරා ගත් ආකාරය ඉහත ගැටුම්වලින් මේ අනුව තවදුරටත් පැහැදිලි වේ.

1948 දී නිදහස ලබා දුන් පසුත් මහා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ නාවික බල ඇණියක් පවත්වාගෙන යාමත්, 1987 දී අත්සන් කරනු ලැබූ ඉන්දු-ලංකා ගිවිසුම මගිනුත් “ත්‍රිකුණාමලය ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි ලෙස යොදා නොගතයුතුය” යනුවෙන් වගන්තියක් එම ගිවිසුමට ඇතුළු කිරීමට දිල්ලි පාලනය උත්සක වුයේද මේ නිසාවෙනි. ඊයේ බටහිර සියළු මාධ්‍ය වල ශ්‍රී ලංකාවේ මෙම එයතිහාසික පිහිටීම ඉතා දීර්ඝ ලෙස සාකච්චා කර තිබිණි. එසේම පසුගිය ජූලි 28 වැනිදා ප්‍රංශ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුලින්ද තහවුරු වුයේ ඉන්දියන් සාගරය තුල මෙම අපුර්ව පිහිටීම බව ප්‍රංශ මාධ්‍යද ඒ කාලයේ දී වාර්තා කර තිබිණි.

මෙම මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මැද පෙරදිග සහ නැගෙනහිර ආසියාව අතර ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගයෙහි වන අතර එයට උපායමාර්ගික වැදගත්කමක් නිතැතින්ම හිමිවේ. ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ආයතනයක් වන සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ කන්ටේනර් නැව් නැංගුරම් ලෑම සංවර්ධනය කිරීම ඉලක්ක කරමින් වර්තමානයේ එය අත්පත් කරගෙන ඇති ඉන්දියානු සමාගමක් වන Adani සමාගමේ මෙම පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 553 මූල්‍යාධාර ලබා දීමට තමන් එකඟ වූ බවයි.

“ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන සංක්‍රමණ මධ්‍යස්ථානයක් වන අතර, සියලුම බහාලුම් නැව්වලින් අඩක් එහි මුහුද සිමා හරහා සංක්‍රමණය වේ,” යයි එම ආයතනයේ ප්‍රධානී ස්කොට් නේතන් කොළඹදී පැවසු බව බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දේ.

“පසුගිය වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු මූල්‍ය අර්බුදයෙන් පසු බංකොලොත් වූ ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ප්‍රමාණය මෙම නව ණය මුදලින් අවසන් වීම හෝ ව්‍යාකුල වීමක් සිදු නොවන නමුත් මෙම ව්‍යාපෘතිය “කලාපයේ අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ තත්ත්වය” ශක්තිමත් කරන බව තමන්ට විශ්වාස බවත් ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය. මෙම අවසාන වාක්‍යය එනම් “කලාපයේ අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ තත්වය” යන්න සඳහන ජාත්‍යන්තර මාධ්‍යවල මෙන්ම වාම බුද්ධිමතුන්ගේ විශේෂ අවධානයට ලක් වී ඇත.

බටහිර කොළඹ ජාත්‍යන්තර පර්යන්තය ඉදිකරනු ලබන්නේ ඉන්දියානු සමූහයක් වන Adani විසින් ප්‍රමුඛ සන්ධානයක් විසින් වන අතර, මෙම සමාගම 2023 වසරේ ඉන්දියානු කොටස් වෙළඳ පලේ මිල අයුතු ලෙස හැසිරවීමේ සම්බන්ධයෙන් එරට චෝදනාවට ලක් වී ඇති දූෂිත සමාගමකි. ඩොලර් මිලියන 700ක ඇස්තමේන්තුගත වියදමක් සහිතව ඉදිවන කන්ටේනර් පර්යන්ත ජැටිය කිලෝමීටර් 1.4ක් දිග, මීටර් 20ක් ගැඹුරින් සහ වාර්ෂික බහාලුම් මිලියන 3.2ක ධාරිතාවකින් යුක්ත වසරකට කන්ටේනර් මිලියන 03ක පැමිණීම අපේක්ෂා කරමින් සැලසුම් කර ඇති දැවැන්ත ව්‍යාපෘතියක් වේ.

මෙම බටහිර ජැටිය සංවර්ධනය කිරීමේ අරමුණ ඍජුව සම්බන්ධ වී ඇත්තේ නවදිල්ලියේ දැඩි විරෝධය නොතකා 2014 දී කොළඹ වරාය ඉදිකිරීමටත්, 2017 දෙසැම්බරයේදී ණය ගෙවා දැමීමට නොහැකිව ශ්‍රී ලංකාව, රටේ දකුණේ ගොඩ නැගු හම්බන්තොට වරාය පාලනය කිරීමට චීන රජයට සම්බන්ධ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගමට අවුරුදු 99කට බලය ලබා දීමත් යන හේතුත් මතය. එසේම ශ්‍රී ලංකාව විසින් ඩොලර් බිලියන 3.85ක තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් හම්බන්තොට පිහිටු වීම සඳහා චීනයේ Sinopec ආයතනය සමග ඔක්තෝබර් 24 වැනිදා ගිවිසුම් ගත වී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් බොහෝ ජාත්‍යන්තර විශේෂඥයින් පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකා වාසීන් දීර්ඝ කාලයක් පුරා තම රටේ නිෂ්පාදන අපනයනය කිරීමේ ආර්ථිකයක් වෙනුවට සම්පූර්ණයෙන්ම තම ආර්ථිකය ආනයනය කරනු ලබන භාණ්ඩ මත යැපීමේ ආර්ථිකයක් මත යැපුණ බවයි. මේ හේතුවෙන් උද්ගත වූ ණය උගුලේ සිරවීම නිසා වර්තමානය වනවිට ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ කෙළි බිමක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව යනු රේගන්, තැචර් හා චිලියේ පිනෝෂේගේ පාලනයටත් පෙර ඇමරිකාවේ මිල්ටන් ෆ්‍රිඩ්මාන් විසින් සම්පාදනය කළ නව සම්භාව්‍ය ආර්ථික වාදය (neo-classic) ඉදිරිපත් කළ ලිබරල් පාසල වන “Chicago Boys” හි උපදෙස් අකුරට පිලිපදිමින් 1977 සිට 80%ක් තම ආර්ථිකය බාහිරට විවෘත කර ආර්ථිකය සඳහා රජයේ මැදිහත් වීම අවසන් කළ රටක් ලෙස සැලකේ. එහි ප්‍රථිපලය වී ඇත්තේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 55ක ණය කරුවෙකු බවට පත් වීම හා එය ගෙවා ගැනීමට නොහැකිව උග්‍ර ආර්ථික අර්බුදයකට ලක් වීමයි.

මෙම දැවැන්ත ණය උගුල උපයෝගී කර ගනිමින් බටහිර රටවල්, ඉන්දියාව හා චීනය තම කලාපීය අරමුණු සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටි. මෙම වසරේ ඔක්තෝබර් 20 වැනිදා අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 333ක ණය මුදල ප්‍රමාද කරනු ලැබුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කරන ලෙස ඉල්ලා සිටිමින්. ඒ අනුව ජලය, ඉඩම්, රක්ෂණ, විදුලිය ඇතුළු රටේ විශාල ආර්ථික සම්පත් ප්‍රමාණයක් විකිණීම සඳහා මූල්‍ය වෙළඳපළට යැවීමට කඩිනමින් සැලසුම් සකස් වෙමින් පවතී. මෙම ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා පොම්ප කරනු ලබන මෙම නව ණය මගින් වර්තමාන පාලනය හා එහි පාර්ලිමේන්තු බලය රැකගැනීම බාහිර හා අභ්‍යන්තර බලවතුන්ට අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බව ඒ අනුව තහවුරු වෙමින් පවතී.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා 2023 සැප්තැම්බර් 06 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය දූෂණ, වංචා හා බලය අයුතු ලෙස යෙදවීම වැනි කාරණා මත ඇති වූවක් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ දුප්පත්කම 25%කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්වය අවසන් කිරීම සඳහා ලෝක මූල්‍ය ආයතන, ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල යහපාලනය, විනිවිද භාවය, වගකීම යන කොන්දේසි යටතේ පමණක් ණය ආධාර ලබා දිය යුතු බවට අවධාරණය කර සිටි. මේ අතර 2023 ඔක්තෝබර් 09 වැනිදා මොරොක්කෝවේ හිදී පැවති අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් පැවැත්වූ වාර්ෂික සැසිවාරයේදී ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධානයක් වන Human Rights Watch සංවිධානය විසින් එහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට පටවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ විශාල ජනතාවක් කබලෙන් ලිපට ඇද වැටී ඇති බවයි.

ශ්‍රී ලංකාව විසින් චීන රජයට අනුබද්ධ සමාගමට වසර 99ක බද්දක් මත හම්බන්තොට වරාය එරටට ලබා දුන් ගිවිසුම චීන “ණය උගුල්” භීතිය යයි මතු කරමින්, පසුගියදා ඉන්දියාවේ පැවැත්වූ G20 රැස්වීමේදී යුරෝපා සංගමය, ඇමරිකාව හා දිල්ලි පාලනය චීනයේ නව සේද මාවතට එරෙහිව ඉන්දියා-මැද පෙරදිග-යුරෝපය ඉලක්ක කරමින් නව ආර්ථික ව්‍යාපෘතියක් දියත් කරනු ලැබුහ. බීජිං පාලනයට ඉන්දියන් සාගරයේ මිලිටරි වාසියක් ලබා දීමෙන් චීනය හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාන ගත වී සිටීම ගැන ඉන්දියාව සහ එක්සත් ජනපදය තුළ බලවත් කනස්සල්ල හා බියක් ඇති වී තිබේ. ඒ අනුව ඉහත සඳහන් කළ ඩොලර් මිලියන 550 ශ්‍රී ලංකාවේ කොළඹ වාරයේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා යයි පවසමින් ලබා දීම පිටුපස පසුගිය අගෝස්තු මාසයේ පැවති G20 සමුළුවේ දී ඉන්දියාව හා ඇමරිකාව විසින් ගනු ලැබූ ඍජු තීරණයක ප්‍රතිඵලයක් විය හැකි බව ජාත්‍යන්තර මිලිටරි විශේෂඥයන් මේ අතර පෙන්වා දේ.

වෙනත් කිසිදු රටකට එරෙහිව තම වරාය යුදමය වශයෙන් භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාව අවධාරණය කර තිබුනත් රට මුහුණ දී ඇති ණය අර්බුදය හා රට තුළ පවතින ක්‍රමයට එරෙහි ජනතා විරෝධය සලකා බලද්දී එවැනි යුධ ඉල්ලීමක් පවා ප්‍රතික්‍ෂේප කිරීමට වර්තමාන පාලනයට කිසිදා නොහැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. විශේෂයෙන්ම ඊශ්‍රාල්-පලස්තීන යුද්ධයත්, යුක්රේන-රුසියා ගැටුමත් මත දිනෙන් දින ඉහළ යන ජාත්‍යන්තර පොලී අනුපාතයන් හා උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට පමණක් නොව මැද පෙරදිග කලාපයෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීමෙන්ද ශ්‍රී ලංකා ආර්ථිකය තව තවත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැක. ඒ අනුව කිසිදු ආර්ථික, දේශපාලන, සමාජීය වැඩ පිලිවෙලක් නොමැතිව මූල්‍ය ආයතන හා රාජ්‍යයන් ලබා දෙන මෙම ණය අරමුදල් වලින් සිදුවනුයේ ශ්‍රී ලංකාව තව දුරටත් අර්බුදයේ ගිලී යාම හා එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර, ඇමරිකානු හා කලාපීය බලවතුන්ගේ ඍජු ගොදුරක් බවට අනාගතයේදී පත්වීම වැළැක්විය නොහැක.

Facebook
Twitter
LinkedIn