“සොම්බිට්‍රික්ස්” (ZombiTricks)වලට හසුවෙන ලංකාවේ ජනයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වාදය…

“සොම්බිට්‍රික්ස්” (ZombiTricks)වලට හසුවෙන ලංකාවේ ජනයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වාදය…

ලංකාව කියන්නේ මහා පුදුම රටක්. ඒ රටේ මිනිසුන් හිතන පතන ආකාරය හරිම වෙනස්. ඔවුන්ට තේරෙන්නේ නැහැ ඔවුන් හිටගෙන ඉන්නේ ගිනි කන්දක් උඩ කියලා. මෙම ගිනිකන්ද 2024 වසර ඇතුළත පුපුරන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. එය මාර්තු-ජුනි මාස ඇතුළත විය හැකි බව මාගේ තක්සේරුවයි. ඒත් රටේ බොහෝ ජනයාට එහි රස්නය තවමත් නොතේරීම අභාග්‍යයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහට එය දැණුනද ඔහුට අවශ්‍ය ජනයාට ගිනි කන්ද පිපිරීමට ආසන්න බව දැනීමට ඉඩ නොදී සිටීමට වග ලබාගැනීමයි. ඒ සඳහා ඔහු විවිධ නාටක අධ්‍යක්ෂණය කරයි.

රනිල් වික්‍රමසිංහ සතියකට වරක් කුමක් හෝ නාට්‍යයක් සමාජයට ඉදිරිපත් කරයි. මම මේවා හඳුන්වන්නේ සොම්බිට්‍රික්ස් (ZombiTricks) කියලයි. මේවා සමාජයට ගෙන යෑමට ඔහු යොදා ගන්නා තෝරා ගත් නිෂ්පාදකයන් පිරිසක්ද සිටිති. ගිය සතියේ රනිල් වික්‍රමසිංහ ලබා දුන් තිර පිටපත “නුවරඑළියේ තැපැල් කන්තෝරුව.” එය සමාජයට ගෙන යෑම සඳහා යොදා ගත්තේ S.B දිසානායක පොහොට්ටු මන්ත්‍රී වරයායි. නාට්‍යයේ පළමු රූප රාමු කිහිපය නිදහස් වීමත් සමග සේවකයින් වහාම වැඩ වර්ජනයක් කැඳවීය. තවත් පිරිසක් උද්ඝෝෂණ ආරම්භ කලේය. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේද එයයි. මෙය “Zombiට්‍රික්ස්” එකක් බව තැපැල් සේවකයින්ට හෝ උද්ඝෝෂණ කරන පිරිස්වලට දැණුනු බවක් පේන්නට නොතිබුණි. තැපැල් නාටකය තව ටික දිනක් ඔය ආකාරයට තිබී අමතක වනු ඇත. සියල්ලන්ටම රටේ ප්‍රශ්න අමතක ය. තැපැල් කන්තෝරුව බේරා ගැනීමට සටන් ආරම්භ කොට ඇත.

ජනාධිපති තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කළේය. සේවකයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නියෝගය පයිසයකට ගණන් නොගෙන වර්ජනය ගෙන ගියේය. රනිල් එය දැනගෙන සිටියේය. සේවකයින්ට කිසිදු දඬුවමක් ලැබෙන්නේ නැති බව ඔවුන් දනී. ඉන් පසු මේ සතිය සඳහා ජනයාට අළුත්ම නාටකයක් ලබා දී ඇත. එය ක්‍රිකට් පාලක මණ්ඩලයයි. එය ඉතා හොඳින් වැඩකරන බව මේ වනවිට පේන්නට ඇත.

සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මාතෘකා සමාජයට ගෙන යෑමට යොදා ගන්නා එක් පුද්ගලයකු වන්නේ විජේදාස රාජපක්ෂ ඇමැති වරයායි. ඔහු වරක් එක්ප්‍රස් පර්ල් නැව සම්බන්ධ ප්‍රකාශයක් කළේය. ජනයා එය කරගහගෙන ගියේය. සිදු වූ දෙයක් නැත. මෑතක අල්ලස් කොමිසමේ සාමාජිකයන් අල්ලස් ගන්නා බවක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය. කිසිවක් සිදුවූයේ නැත. තවත් ඔවැනි සිදුවීම් රාශියක් සඳහන් කළ හැක. හෙටත් එවැනි දේ වනු ඇත. ජනයා ඒවා තලු මරමින් සිටී. මෙම නාට්‍ය රසය නිසා වැඩි වන බදු බරේ අමාරුව ඔවුන්ට නොදැනේ.

රනිල් වික්‍රමසිංහ මෙවර යොදා ගත්තේ ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහයි. තිරපිටපත අනුව “ශූටින්” ආරම්භ වන්නේ ක්ෂණිකව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමත් සමගයි. ඉන් පසු ඇති වන සියල්ල පිටපත අනුව සිදුවන බව රනිල් වික්‍රමසිංහ දැන සිටි බව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති රහස් සාකච්ඡාවක වීඩියෝ පටයක් මාධ්‍යට නිකුත් වීමත් සමගයි. එය ජංගම දුරකථනයකින් පටිගත කරගෙන තිබුණි. රාත්‍රි සිරස මාධ්‍යයේ ප්‍රවෘත්ති ඔස්සේද එය විකාශය විය.

රොෂාන් රණසිංහ ඇමැතිවරයා පත් කළ අතුරු පාලක මණ්ඩලයේ සාමාජිකයන් වූයේ කවුද ? විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා නීතිඥ රඛිත රාජපක්ෂ, ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසාමිල්ගේ පුතා, මුසාමීල් (Jr), උපාලි ධර්මදාස, (ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ජයන්ත ධර්මදාස ගෙ සහෝදරයා) අර්ජුන රණතුංග සහ තවත් හිටපු විනිසුරන් තිදෙනෙක්. මෙම මණ්ඩලයේ සංයුතිය තුළම “Zombiට්‍රික්ස්” වැඩ කරන ආකාරය මොළය කළඳක් තිබෙනවා නම් අවබෝධ කරගත හැක.

එම තිරපිටපතේ තිබූ එක් රූප රාමුවක් හැටියට උසාවි වාරණ තීන්දුවක් ලැබීම සටහන් වී තිබී ඇත. එය රනිල් වික්‍රමසිංහ ඉහත රහස් සාකච්ඡාවේදී සඳහන් කරනවා දුටිමි. විජේදාස රාජපක්ෂ ඊයේ විවාදය අතරතුර “චිත්‍රසිරි වාර්තාව” පිළිබඳ කළ සඳහන අනුව ලැබෙන තීන්දුව කුමක්ද යන්න ඒ වනවිටත් පැහැදිලිව දැන සිටී බව අවබෝධ කරගත හැක. ඒ අනුව රනිල් වික්‍රමසිංහට අමතරව විජේදාස රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයත්, ඊට අමතරව නීතිපතිත් මේවා සියල්ල දැන සිටි බව රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශවලින් පැහැදිලි විය.

අතුරු කමිටුවට වාරණ නියෝගය දුන් එම අධිකරණයම (විනිසුරු) මීට පෙර ලබා දුන් වාරණ දෙකක් මේ වනවිටත් ක්‍රියාත්මක බව විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය. රොෂාන් රණසිංහ අදාළ විනිසුරු සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති උපදේශක අසේල රැකව අතර ඇති ඥාතිත්වය පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළේය. ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? ඉහළ කුණු වනවිට පහළ සියල්ලද කුණු වන බව නොවේද? දේශපාලකයා, අධිකරණය සහ පරිපාලකයා යන සියල්ල මේ දූෂිත වලල්ලේ කොටස් කරුවන්ය. මෙය වෙනස් කළ යුතු නොවේද ?

ඊයේ දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතුණි. මෙහිදී විවාදය සඳහා යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන අතර ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල එය ස්ථීර කළේය. ඉන් අදහස් කරන්නේ මෙය දෙපාර්ශවයේ එකඟත්වයෙන් ඒකාබද්ධව ඉදිරිපත් කරන යෝජනාවක් බවය. එවැනි ඒකාබද්ධ යෝජනාවකදී ඡන්ද විමසීමක් සිදුවන්නේ නැත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අවබෝධයක් නොමැති ජනයා හිතන්නේ විවාදයක් පවත්වා ඡන්දයක් විමසා ක්‍රිකට් පාලක මණ්ඩලය අහෝසි කරනු ඇත කියාය. එනිසා ඔවුන් ඡන්දය දෙන්නේ කවුද නොදෙන්නේ කවුද කියා බලා සිටියා වන්නට ඇත. එය ඔවුන්ගේ නොදැනුවත් කමයි.

ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 83ක්ද, විපක්ෂයේ මන්ත්‍රීවරුන් 59ක්ද මුළු සංඛ්‍යාව 142 සභාවේ සිටියේ ය. අනෙකුත් මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් සිටියේ ඡන්දයක් විමසන්නේ නැති බව ඔවුන් වේලාසන දැන සිටි නිසාය. ඊට අමතරව, හොරු පිරිසක් දෙපිල බෙදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් අපි නොවෙයි හොරු, ක්‍රිකට් බෝඩ් එකයි හොරු කියමින් කිසිදු ඵලක් නැති යෝජනාවක් වාද කොට රුපියල් මිලියන 75-100ක් පමණ වියදම් කොට අවසානයේ පාර්ලිමේන්තුව සෙල්ලම් ගෙයක් බවට පත්විය. මොවුන් නඩත්තු කරන්නේ ඔබලා ගෙවන වැට් බද්ද, ආදායම් බද්ද, හෝ වෙනත් බදුවලින් බව ඔබ නොදන්නේද? ක්‍රිකට් පාලක මණ්ඩලයේ “මයිලකට” හානියක් සිදු වූවාද ?

විපක්ෂ නායක ඔහුගේ කතාවේදී ප්‍රකාශ කරන්නේ අපි 225 මෙම යෝජනාව සම්මත කළද, ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ නොහැකි බවයි. එමෙන්ම, සභානායක ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේද එයයි. එය නිවැරැදි යි. මන්ද ක්‍රිකට් පාලක මණ්ඩලය පත් වන්නේ ක්‍රීඩා සාමාජවල නිලවරණයකින්. පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කිරීමකින් ක්‍රීඩා සංගමයක් තියා ගමේ මරණාධාර සමිතියක් වුවද අහෝසි කළ නොහැක. එහෙත් රටේ ජනයා හිතන්නේ පාර්ලිමේන්තුවේ 225ට ඕනෑම දෙයක් කළ හැකිය කියාය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් සජබ මන්ත්‍රී හේෂා විතානගේ මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ඊයේ සිදුවූ අන්දමටම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ පිළිබඳ වාද කළේය. කෝප් කමිටුව විගණන වාර්තා කිහිපයක් පදනම් කරගෙන විමර්ශන රාශියක් කොට තිබේ. එහෙත් කිසිදු ප්‍රයෝජනයක් සිදුව නැත. එසේනම් නම් වරද කොහේද ?

දැනට සිටින ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහෙයවන්නේ තිලංග සුමතිපාල බව බොහෝ අය දනී. ඔහු සිටින්නේ කොහේද? ඔහු රනිල් වික්‍රමසිංහ උත්කර්ෂයට නැන්වීමට දායක වන, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළයක් දරණ, රේස් බුකී හිමිකරුවෙකි. රණතුංග පවුලේ අය සුමතිපාල සමග විරසකයක් ඇති කරගන්නේ 1996 ලෝක කුසලාන තරඟය ජයග්‍රහණය කොට ඉන් පසු තරගාවලියක විකාශන අයිතිය ලබා දීමේදී ලැබුණු මුදල් බෙදා ගැනීමට ගොස් ඇති වූ ආරාවුලක් නිසාය. ඔවුන් සියල්ලෝම කළු චරිත බව බොහෝ අය දනී.

රණතුංග පවුල, ධර්මදාස පවුල සහ සුමතිපාල පවුල මාරුවෙන් මාරුවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය ග්‍රහණයට ගන්නේ අන් කිසිවක් නිසා නොව ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන ඩොලර් තොගය නිසාය. ලංකාවේ දේශපාලනයත් ක්‍රිකට් පාලනයත් අතර කිසිදු වෙනසක් නැත. මොවුන් දෙපැත්ත බෙදී පාර්ලිමේන්තුවේ වාද කරන්නේ හරියට සුදනන් ලෙසය. එහෙත් ඔවුන් “පට්ට හොරු”ය. මේ සියල්ල වෙනස් කළ යුතුය. ඒ සඳහා ක්‍රීඩාව දේශපාලනයෙන් මුදවා ගත යුතුය. හොරකම් කිරීමට නොහැකි වන අන්දමට ක්‍රමවේද සකස් කළ යුතුය. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි ක්‍රිකට් සංගම් මෙවැනි චෝදනාවලට ලක්ව තිබෙනවා ද? ඔවුන් ඒවා ක්‍රමානුකූලව සකස් කොට ඇත. ඒ සඳහා රටේ ජනයාගේ ආකල්පද වෙනස් විය යුතුය. විවාදයේ ඡන්දය ප්‍රකාශ කිරීම හෝ නොකිරීම පිළිබඳ ඔවුන් පැය ගනන් සාකච්ඡා කරති. අඩු පාඩු හොයති. එහෙත්, මේ සියල්ල සමස්තයේ ප්‍රතිඵලයක් බව අවබෝධ කරගැනීමට බුද්ධිය මෙහෙය වන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට උවමනාවක් නොමැත. එය අභාග්‍යකි. රට මේ තත්වයට පත්වීමට ජනයාද වගකිව යුතුය. අවම වශයෙන් දැන් වත් ඉන් මිදීමට උත්සාහ කරමු. තම බුද්ධිය ප්‍රයෝජනවත් ලෙස යොදවා ගමු.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක 
10.11.2023

Facebook
Twitter
LinkedIn