ජාතික භික්ෂු පෙරමුණ සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් අතර හමුවක් ඊයේ (08) පලස්තීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම විහේෂ අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍යපාද හඳුගල රතනපාල නාහිමි, ප්‍රධාන ලේකම් පූජ්‍යපාද වකමුල්ලේ උදිත හිමියන් ඇතුළු ජාතික භික්ෂු පෙරමුණේ ජාතික විධායක සභික හිමිවවරුන් සහභාගී වී තිබේ.
මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවෝ දරුවෝ ඇතුළු සිවිල් වැසියෝ දස දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණ සිය කනගාටුව පලස්තීන තානාපති වෙත පළකර තිබේ.
ජාතිකත්වයන් අතර සහජීවනය, සමාජ සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ විශාලතම භික්ෂු සංවිධානය වන ජාතික භික්ෂු පෙරමුණ ගාසා තීරයේ හා ඊශ්‍රායලයේ තුළ සිදුවන මිනිස් ඝාතන වහා නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විශේෂයෙන් ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු දහස් ගණනක් සිවිල් වැසියන් ඝාතනය කරන යුද්ධය වේදනාකාරී, දරාගත නොහැකි හා කිසිඳු මිනිසෙකුට පිළිගත නොහැකි බවක් එහිදී එම භික්ෂූන් වහන්සේලා තානාපති සමග සඳහන් කර ඇත.
තවද පලස්තීන ඉඩම්වල ඊශ්‍රායලය ආක්‍රමණය කිරීම ජාතික භික්ෂු පෙරමුණ හෙළා දකින බවත් පලස්තීනුවන්ගේ ස්වාධීනත්වය සඳහා වන අරගලයට ජාතික භික්ෂු පෙරමුණ සිය සහයෝගීතාවය ප්‍රකාශ කර බවත් සඳහන් කර ඇති එම හිමිවරු ඊශ්‍රායල සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වීම ගැන කනගාටු වන අතර ගාසා තීරයේ සිදු වූ ම්ලේච්ඡ ඝාතන නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කර තිබේ.
ලේ වැගිරීම් කිසිඳු ප්‍රශ්නයකට පිළිතුරක් ගෙන නොදෙන අතර ජීවිත බේරා ගැනීමට සහ සක්‍රීය කිරීමට වහාම සටන් විරාමයක් අවශ්‍ය බවත් පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ ජනතාවගේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ඇති එකම මාර්ගය වහාම සටන් විරාමයක් ප්‍රකාශ කිරීම බවත් තමන් වහන්සේලාගේ ස්තාවරය බවද ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරු සඳහන් කර ඇත.
ඒ සඳහා ලෝක බලවතුන් මෙන්ම ලංකා ආණ්ඩුවද ක්‍රියා කළ යුතුව බවත් ජනතාවට හා රටට වග කියන භික්ෂු සංවිධානයක් ලෙස ලෝකයේ කොතන පැවතුනත් යුද්ධය හෙළා දකින බවත් පලස්තීන තානාපති හා සඳහන් කර තිබේ.











