ඩයනා සහ සජබ මන්ත්‍රීවරු කෝලාහලය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

ඩයනා සහ සජබ මන්ත්‍රීවරු කෝලාහලය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ සහ සජබ මන්ත්‍රීන් කිහිප දෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු කෝලාහලය පිළිබඳව කරුණු සොයා බැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පත් කළ පාර්ලිමේන්තු කමිටුව අද (06) රැස්වීමට නියමිතය.

පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය ඇමති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා අතර ගැටුම්කාරී තත්වයක් හට ගෙන තිබිණි.

ඒ පිළිබඳව සොයා බලා වැරදි කරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශනද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

අද දිනයේ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීමට නියමිත අතර අනතුරුව ගනු ලබන නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතය.

මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේද සහාය ලබාගැනීමට තීරණය කර ඇති අතර ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තලතා අතුකෝරළද එක් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කමිටුව මඟින් සිදු කරන විමර්ශනවලදී යම්කිසි පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු සභාවාර අහිමි වනු ඇත.

Facebook
Twitter
LinkedIn