ග්‍රාම නිලධාරීවරු නිවාස සංගණනයෙන් ඉවත්වෙති

ග්‍රාම නිලධාරීවරු නිවාස සංගණනයෙන් ඉවත්වෙති

මේ වනවිට ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති ජන හා නිවාස සංගණන කටයුතුවලින් දින 14ක කාලයකට ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය කියා සිටී.

එම සංගණන කටයුතුවල නිරතවන ග්‍රාම සේවකවරු සඳහා ලබා දෙන්නේ සොච්චම් මුදලක් බවත්, ඊට විරෝධය පළකරමින් අදාළ තීරණය ගත් බවත් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පවසයි.

මේ හේතුව නිසා වෙනත් නිලධාරීන් යවා නිවාස හා ජන සංගණනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්, නිවෙස් වෙත පෞද්ගලික තොරතුරු ඉල්ලමින් පැමිණෙන අයට තොරතුරු කිසිවිටෙකත් ලබා නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

නිවාස හා ජන සංගණනයේ තොරතුරු රැස් කිරීමේ බලය ඇත්තේ ග්‍රාම නිලධාරීන්ට පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

නිවාස හා ජනසංගණනයේදී නිවසකට ගිය විට ඇලවිය යුතු ලේබලයක් ගැසීම සඳහා රජයෙන් ගෙවනුයේ රුපියල් 30ක මුදලක් බවත් එය කිසිසේත්ම ග්‍රාම සේවකවරුන්ට ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

එසේම ප්‍රවාහන වියදම් දීමනාව වශයෙන් රජය මසකට ගෙවනුයේ රුපියල් 600ක දීමනාවක් බවත්, එයද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඔහු පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – දිවයින

Facebook
Twitter
LinkedIn