ලංකාවේ පාර්ලිමේන්තුව ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු සමග සන්සන්දනය කිරීමේදී සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය. එහි මිනීමැරුම් චූදිතයන් සිටී. මරණීය දණ්ඩණය නියම වූවන් රාජ්‍ය ඇමතිවරුන් හැටියට සිටී. කප්පම් ගැනීමේ චෝදනා මහාධිකරණයේ ඔප්පු වී ඇපල් උසාවියට අයැදුම් කොට පාර්ලිමේන්තුවේ සභානායක වගේම ප්‍රධාන ඇමති තනතුරක් දරමින් තවත් අයෙක් සිටී. රුපියල් මිලියන 75ක් වටිනා රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් රේගුවෙන් පැන්නීමට ගොස් හසු වූ මන්ත්‍රීවරයකුද පාර්ලිමේන්තුවේ සිටී. මුදල් විශුද්ධි කරන චෝදනා ලැබූ නාමල් රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනෙක් මන්ත්‍රීවරුන් හෝ ඇමතිවරුන් හැටියට යෙහෙන් සිටී. බදු වංචනිකයන්, දූෂණ චෝදනා ලත් මන්ත්‍රීවරුන් සහ හිටපු පොහොට්ටු ඇමතිවරුන් දුසිම් ගණනක් සිටී. “නයා කෑම” නිසා අල්ලස් කොමිෂන් සභාවෙන් බේරුණු අයෙක්ද පාර්ලිමේන්තුවේ ප්‍රබලයෙකි. LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නැගෙනහිර දෙවෙනි ප්‍රධාන අන දෙන්නා, පොලිසියේ නිලධාරීන් 400ක් ඝාතනය කල ත්‍රස්තවාදී ප්‍රහාරය කල පුද්ගලයා වගේම අරන්තලාවේ භික්ෂු ඝාතනයට වගකිව යුත්තා නියෝජ්‍ය ඇමතිවරයෙකි. කුඩු තොගයක් සමග STF අත් අඩංගුවට පත්වීමට ගිය විට රාජපක්ෂලා තොගයම හෙලිකොප්ටරයකින් ඔහුගේ මීගමුවේ පිහිටි නිවසට ගොස් බදාගෙන, “උම්මා දී” බේරා ගත් මන්ත්‍රීවරයා අද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ තප්පුලමින් සිටී.
මේ සියල්ලටම වඩා ප්‍රධාන තැනක් ගන්නේ පවුල් වාදයයි. රාජපක්ෂලා ගතහොත්, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරයි. රාජපක්ෂ පවුලේ ඥාතීන් වන නිපුණ රනවක, ජානක වක්කුඹුරට අමතරව සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණාද පාර්ලිමේන්තුවේ සිටී. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එකම පුතා සජිත් ප්‍රේමදාස අද විපක්ෂ නායකවරයා ය.
පවුල්වාදයට විරුද්ධව සිටි වමේ පතාකයකු වන අගමැති දිනේෂ් ගුණවර්ධන වැඩි සද්ද බද්දයක් නොමැතිවම සිය පුතා යදාමිනී ගුණවර්ධන පාර්ලිමේන්තුවට ගෙනාවේය. පක්ෂයේ සිටින්නේ තාත්තා පුතා පමණක් වීම එයට හේතු වන්නට ඇත. ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රී ජනක බණ්ඩාරගේ පුතාය. වාසුදේව නානායක්කාරගේ පුතා විවාහ වී සිටින්නේ උතුරේ TNA මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන්ගේ දුව සමගය. ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිගේ පියා කලක් පාර්ලිමේන්තුවේද පසුව උතුරු මැද පලාත් සභාවේ ඇමතිවරයකු ලෙසද කටයුතු කලේය. කාංචන විජේසේකරගේ පියා, ප්‍රසන්න රණතුංගගේ පියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී මිත්‍රපාලගේ පියා පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් ය.
රාජ්‍ය ඇමැති කනක හේරත්ගේ පියා මහීපාල හේරත් හිටපු ඇමති වරයෙක්, මහ ඇමති වරයෙක් සහ අදටත් ආණ්ඩුකාරයෙක් ලෙස සිටී. ඇමැති රමේෂ් පතිරණ හිටපු අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණගේ පුතා ය. හිටපු ඇමැති ආරුමුගම් තොන්ඩමන්ගේ පුතා දැනට රාජ්‍ය ඇමතිවරයෙක් වන අතර බෑනා නැගෙනහිර ආණ්ඩුකාරයා ය. රාජ්‍ය ඇමති තාරක බාලසූරිය රාජපක්ෂ පවුලට නෑයකු වන අතර ඔහුගේ පියා ඇමතිවරයෙක් වගේම ආණ්ඩුකාරවරයෙක්, සහ ස්වාධීන කොමිෂන් සභාවක සභාපති තනතුරක් ද දැරුවේය. මවද දකුණේ ආණ්ඩුකාරවරියක් ලෙස කටයුතු කලේය.
රත්නපුරේ හිටපු මන්ත්‍රීවරයකු වූ රංජිත් ද සොයිසාගේ බිරිඳ, හිටපු ඇමති සාලින්ද දිසානායකගේ බිරිඳ , ජෙයරාජ් ෆනෑන්ඩු පුල්ලේ හිටපු ඇමතිගේ බිරිඳ , හිටපු එජාප ඇමතිවරයකු වු ගාමිණී අතුකෝරලගේ සහෝදරිය තලතා අතුකෝරළ, හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරාගේ පුත් ඩිලාන් පෙරේරා අදටත් පාර්ලිමේන්තුවේ ය. හිටපු පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්නගේ බිරිඳ රෝහිණී කවිරත්න සජබ මන්ත්‍රීවරියක් ය. තවත් මෙවැනි දේශපාලන පවුල් සිය ගණනක් නම් කල හැක.
ලංකාවේ දේශපාලනය ඔවුන්ගේ පවුලේ උරුමයට ලියාගෙන ඇත. ඉහත නම් කල අයගෙන් දෙතුන් දෙනෙකු හැරෙන්නට , අනෙකුත් සියලු දෙනාම ලංකාවේ ඉඩම්, ව්‍යාපාර අත්පත් කරගෙන මහා ධන කුවේරයන් බවට පත්වී ඇත්තේ දේශපාලනයට පැමිණියාට පසුවය. ඉන් අදහස් වන්නේ කුමක් ද? මන්ත්‍රී හෝ ඇමති වැටුපෙන් පමණක් ඔය සියල්ල කල හැකි ද?
නුදුරේ යම් දිනෙක මේ පවතින දූෂිත පවුල් දේශපාලනය ලංකාවේ අවසන් වනු ඇත. එදාට බලයට එන රජයේ පළමු දින 100 ඇතුලත මොවුන් වත්කම් උපයාගත් ආකාරය සෙවීමට විමර්ශන කොමිෂන් සභා පත්වනු ඇත. තමන්ගේ නීත්‍යානුකූල ආදායම් මාර්ග වලට පිටින් උපයාගෙන ඇති ධනය , දේපළ , ඉඩ කඩම් , යාන වාහන , ඉන්ධන පිරවුම් හල් , බාර් ලැයිසන්, වැලි තොටුපවල්, ගල් කොරි, ව්‍යාපාර රජයට පවරා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ඊට අමතරව රටේ නීතිය අනුව නොගෙවා පැහැර හැර ඇති බදු අය කරගැනීමට අමතරව නීතිය හමුවට ඉදිරිපත් කොට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙනු ඇත. ඔවුන් ඒ බව හොඳින්ම දනී. මේ වන විට ඔවුන්ට “හීන් දාඩිය” දාන්නට පටන් ගෙන තිබෙන්නේ ඒ නිසාය. මෙම දුෂ්ඨ පාලකයන් පන්නා දැමීමට ලංකාවේ යමක් කමක් තේරෙන ජනයා මේ වන විට තීරණය කොට හමාරය. වඩාත්ම ලංකාවෙන් පිට ජීවත් වන ලාංකිකයන් ඒ සඳහා පෙළ ගැසෙමින් සිටිනු දැකීම සතුටට කරුණකි.
තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ගේ දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් සිය ගනනක් විදේශ තානාපති කාර්යාලවල ගාල් කොට තිබීමය. මොවුන් නඩත්තු කිරීම සඳහා රටේ දුප්පත් ජනයා ගෙවන බදු මුදල් බිලියන ගණනක් වාර්ෂිකව වියදම් වනු ඇත. මේවා පිළිබඳ වෝහාරික විගණනයක් කොට මෙවැනි දේශපාලන පත්වීම් ලබා දීමට නිර්දේශ කල වගකිව යුතු නිළධාරීන්ගෙන් සියළු වියදම් අයකර ගත යුතුය.
මේ දිනවල මහා උජාරුවට කතා කරන සජබ මන්ත්‍රී තිස්ස අත්තනායකගේ දුව දුල්මිනී අත්තනායක ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් හැටියට කටයුතු කරයි. මොවුන් විපක්ෂයේ සිටියද සිය දරු මල්ලන් විදේශ තානාපති කාර්යාල වල වගකිව යුතු තනතුරු වලට පත් කරගන්නේ කෙසේද? මොවුන් සියල්ලෝම “යාළුවන් වීම” එයට හේතුව ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝටාභය රාජපක්ෂ රජයේ විවිධ නිලතල දැරූ මාධ්‍ය කරුවකු වන මොහාන් සමරනායකගේ දුව ඕස්ට්‍රියාවේ වියානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් වරියයි. ඒ අයුරින්ම, අමිල ඊ. දිසානායක නැමැත්තා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් වරයා යි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී දුමින්ද දිසානායකගේ සහෝදරයා ය.
ආණ්ඩුවේ ආර්ථික ඔස්ථාර් යැයි විරුදාවලී ලත් බන්දුල ගුණවර්ධනගේ දුව රන්දුලා ගුණවර්ධන සිටින්නේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් වරිය ලෙසයි. පොහොට්ටු කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතා කසුන් ද සිල්වා සිටින්නේ එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කා.කා.ස හැටියට ය. ඔහුට සා.පෙළ වත් තිබෙනවා ද කියා සැක සහිත ය. මීට අමතරව නවෝදා නිම්නි, උපේක්ෂා විජේසිංහ , කසුරී කවීෂා යන නම් වලින් ඇති කාන්තාවන් කිහිප දෙනෙකුම දේශපාලන සම්බන්ධතා මත එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේ කා.කා.ස තනතුරු වල ඇත.
තාරක බාලසූරිය විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වරයාගේ මස්සිනා ගවන්ත බොලොන්ගේ සිටින්නේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙසය. මීට අමතරව මෑතක අමෙරිකාවේ තානාපති කාර්යාලයට කාඩරයේ නොමැති තනතුරු සඳහා පස් දෙනෙකු පත් කොට යවා ඇත. මේ තොරතුරු සහ තවත් විදේශ සේවාවේ දේශපාලන පත්වීම් පිළිබඳ විස්තර සඳහා පිවිසෙන්න..
මේවා කියවීමේදී ඔබට හැඟෙන්නේ මොනවාද? ඔබ මහ පාරෙ උද්ඝෝෂණ කරන්නේ බදු බර අඩු කරන ලෙසය. එහෙත් ඔබ ගෙවන බදු වියදම් වන්නේ මොනවාටද කියා දැන් ඔබට පේනවා ඇති. මේ පාලකයන් ඒවා තව තවත් එලෙසම කරමින් සිටී. හිටපු ඇමැති තනතුරක් දැරූ , දූෂිත චෝදනා සහ වෙනත් මූල්‍ය අවභාවිතා පිළිබඳ චෝදනා රාශියක් තිබෙන රෝහිත බෝගොල්ලාගම එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස දැනට සති කීපයකට පෙර පත්කොට යැවීය. ලංකාවේ විදේශ සේවය සහ පාර්ලිමේන්තුව අතර වැඩි වෙනසක් නැත. මේ ආයතන දෙකම සුද්ද කිරීම වහා කල යුතුය. ඒ සඳහා රටේ ජනයා සූදානම් බව පේන්නට තිබීම සතුට දනවන්නකි.
ඔක්තෝබර් 31 වන දින රනිල් වික්‍රමසිංහ ඔබට ඔබට ද්විත්ව ප්‍රහාරයක් එල්ල කලේය. 2024 ජනවාරි 1 වන දින සිට වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පෙරෙයිදා ප්‍රකාශ කලේ හරියට “වයිමා” ලෙසය. මාධ්‍යම රාත්‍රිය වන විට ඉන්ධන මිලද වැඩි කලේය. දැන් රටේ ජනයාට හරි අපූරුය.
කොතෙක් මොවුන් මේවා වැඩි කලද ඒවාට සාධුකාර දෙන පිරිස්ද රටේ නැතුවාම නොවේ. ලංකාවේ දේශපාලකයන් වගේම එවැනි සම හරක් ජනයා ද සිටීම පුදුම සහගත ය. කෙසේ වුවද තවම “හොඳම හරිය” රනිල් වික්‍රමසිංහ ඔබට ලබා දුන්නේ නැත. එයත් ලැබුණු පසු ජය ඝෝෂා පවත්වන්න සූදානම් විය හැක.
දේපළ බද්ද , දේපළ පැවරීමේ බද්ද, සහ තවත් බදු රාශියක් හඳුන්වා දීමට සූදානම් ය. ඒවා එළඹෙන 13 වන දා පස්වරුවේ ඉදිරිපත් කරන 2024 අයවැය ලේඛනය සමග නිවේදනය කරනු ඇත. එවිට හොඳ සනීපයක් දැනෙනු ඇත. මින් පසු රනිල් වික්‍රමසිංහට පැනවීමට ඉතිරි වන බදු වන්නේ සුදු ආණ්ඩුව විසින් අයකල “මරාල බද්ද”, “ඇඟ බද්ද “, “පොල් බද්ද”, “මහ බද්ද”, “පාර බද්ද “, “බලු බද්ද”, “සෙරෙප්පු බද්ද” වැනි බදුය. එසේ නොමැතිව, රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරිය නොහැක.
රනිල් වික්රමසිංහත් ඔහුගේ මාමණ්ඩිය ජේ. ආර් කලා සේම බලය ගන්නා තුරු හිවලෙකු සේ සැඟවී කටයුතු කොට , බලය ගත් පසු සිංහයකු සේ පම්පෝරි ගසමින්, ජනයාට සිහින ලෝක පෙන්වමින් ලෝකය වටේ මසකට වරක් ඔහුගේ සහචරයන් සමග “ෆන් ටුවර් “යමින් සතුටින් කාලය ගත කරයි. කිසිදු හැඟීමක්, දැනීමක්, සංවේදනයක් නොමැති මෙවන් පාලකයන් බලයේ තබාගැනීමට ඔබ තවදුරටත් බලාපොරොත්තු වනවාද? තීරණය ඔබ සතුය.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
2.11.2023
(හුවමාරු කල හැක










