ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 08කින් ජය ගැනීමත් සමගය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දු වාර 15කට සීමා වූ අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තායිලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කරන ලදී. ඒ අනුව ඔවුන් සිය පන්දු වාර 15 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 78ක් ලබා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 10යි පන්දු 05ක් අවසානයේ කඩුලු 02ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරී අතපත්තු පන්දු 21කදී හතරේ පහර 05ක් සමගින් ලකුණු 27ක් ලබාගත් අතර අනුෂ්කා සංජීවනී පන්දු 23කදී හතරේ පහර 05ක් සමගින් ලකුණු 32ක් ලබාගන්නා ලදී. හර්ශිතා සමරවික්‍රම පන්දු 13දී 06 පහර එකක් සමග නොදැවී ලකුණු 14ක් රැස් කර ගත් අතර විශ්මි ගුණරත්න පන්දු 08කදී නොදැවී ලකුණු 08ක් රැස් කර ගන්නා ලදී.

Facebook
Twitter
LinkedIn