සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් කඩා වැටීම ගැන සංවේදී කරුණු රැසක් ටානියා අබේසුන්දර හෙළි කරයි

සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් කඩා වැටීම ගැන සංවේදී කරුණු රැසක් ටානියා අබේසුන්දර හෙළි කරයි

අද වනවිට සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් දියේ ගිලෙන කෙනා තුත්තිරි ගහෙත් එල්ලෙනවා වගේ අතට අහුවෙන ඕන එකක් තදින් අල්ලගෙන ගොඩ එන්න බලාගෙන ඉන්න තත්වයකට සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයා පත්ව ඇති බවත් ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පවසයි.

ඇය මේ බව පැවසූවේ පසුගියදා සිරස මාධ්‍යවේදී අසෝක ඩයස් සමග පැවති පැතිකඩ සංවාදයට එක්වෙමිනි.

ආණ්ඩුව පසුගිය කාලයේ පැවසූ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට සහනයක් ලෙස බැංකු පොලී අඩු කරනවා යැයි පැවසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ එය පුංචි දරුවන්ට නින්ද යාමට සුරංගනා කතා කියන්නාක් වැනි තත්වයක් බවයි.

ආණ්ඩුවට එවැනි තත්වයක් ලබාදීමටනම් රජයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අනුපාතය අඩු කළ යුතු බවත් එවැන්නක් සිදු වන තුරු ආණ්ඩුවේ බැංකු පොලී අඩු කිරීම තුළින් ව්‍යවසායකයන්ට සහනයක් සැලසීම සිහිනයක් පමණක් යැයිද ඇය පෙන්වා දෙයි. 2018දී භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අනුපාතය පැවතියේ 8.33%ක බවත් 2019දී එය 9.5%ක් ලෙසත් 2020 කොරෝනා කාලයේ 7%ක් ලෙසත් පැවති බවත් 2021 දී භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අනුපාතය සියයට 4යි දශම ගණනකට අඩු වූ බවත් ඇය අවධාරණය කරයි. ව්‍යවසායකයින්ට ව්‍යාපාර කරගෙන යාමට අවශය සහන, ණය යෝජනා ක්‍රම ආදිය විශාල වශයෙන් ලැබුණේ එලෙස භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අනුපාතය සියයට 4යි දශම ගණනකට අඩු වූ නිසා යැයිද ඇය පෙන්වා දෙයි.

නමුත් පසුව 2022දී එය 8.2%ක් දක්වා පැවති බවත් 2022 අප්‍රේල් මාසයේදී මහ බැංකුවේ අධිපති ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කිරීමේදී 8.26%කට පැවති භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අනුපාතය 12.5%ක් දක්වා ඉහළ ගිය බව ඇය පෙන්වා දෙයි. ඉන් පසු මැයි මාසෙ 23%, ජුනි 22%, 23%, 27% 33%ක් දක්වා භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අනුපාතය ඉහළ ගිය බවද ඇය පෙන්වා දෙයි. බැංකුවල තැන්පතු සඳහා 26%ක් 27%ක් ගෙවීම් කළේ එම කාලයේ බවද ඇය පෙන්වාදෙයි.

ව්‍යවසායකයන් අත්‍යවශ්‍යයෙන්ම ඕඩි ණයකට යාමට සිදු වූ එම අවස්ථාවේ 37%ක් වැනි පොලී ගෙවා ඇතැයිද ඇය පෙන්වා දෙයි. සේවකයන්ගේ පඩි ගෙවීම සඳහා 42%ක පොලියකට ඕඩී ණය ලබාගෙන ඇතැයිද ඇය පවසයි. මෙරට ව්‍යාපාර කරන බහුජාතික සමාගම් 13කට මෙය නොදැනෙන බවත් එහි පීඩනය දැනෙන්නේ සුලු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ට බවත් ඇය පවසයි.

විදුලි, ජල ඇතුළු විවිධ බිල්පත් ගාස්තු ඉහළ යාමත් ඉහළ බැංකු පොලී ගෙවීමට සිදුවීමත් දරාගත නොහැකි මට්ටමේ බදු වැඩි කිරීමත් සමග දේශීය පාරිභෝගිකයා සඳහා නිෂ්පාදන කරන සුලු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයාට දැවැන්ත පහරක් එල්ල වූ බවද ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පෙන්වා දෙයි.

රටේ ලක්ෂ 10ක පමණ සුලු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් සිටි බවත් මේ වනවිට එය ලක්ෂ 03ක් 04ක් දක්වා අඩුවී ඇති බවත් ඇය පෙන්වා දෙයි. මෙයින් වැඩිම පීඩණයට ලක් වූවේ ආගන්තුක සත්කාර සේවා සැපයුම් ක්ෂේත්‍රයේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි ව්‍යවසායන් බවත් මේ වනවිට ඇඟුළුම් ක්ෂේත්‍රය සීග්‍රයෙන් කඩා වැටෙමින් පවතින බවත් ඇය මෙහිදී අවධාරණය කරමින් පෙන්වා දෙයි.

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්ද සිරස මාධ්‍යවේදී අසෝක ඩයස් සමග පැවති පැතිකඩ සංවාදයේදී තවත් ඉතා සංවේදී කරුනු රැසක් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් හෙළි කරන අතර එය පහති වීඩියොවෙන් ලබාගත හැක.

Facebook
Twitter
LinkedIn