ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව මඟින් පළාත් සභාවට ලබා දී ඇති බලතල ඉක්මවා යමින් වැලි කැණීම ඇතුළු භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට මැදිහත්වීම වළක්වාලමින් නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට එරෙහිව මීට පෙර නිකුත් කර ඇති අතුරු තහනම් නියෝග තුනක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (13) තීරණය කර තිබේ.
මෙලෙස අතුරු තහනම් නියෝග දීර්ඝ කරනු ලැබ ඇත්තේ, නැඟෙනහිර ආණ්ඩුකාරවරයා විසින් සිය කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වන බවට පැමිණිලි කරමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී වන අතර එම පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම අතුරු තහනම් නියෝග බල පැවැත්වෙන බවද නියෝග කර ඇත.
මධ්‍යම ආණ්ඩුව සතු වැලි කැණීමේ කටයුත්තකට මැදිහත් වෙමින් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කළ ලිපි දෙකක් අත්හිටුවමින් සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට මැදිහත්වීම හෝ බාධා කිරීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට වළක්වමින් අතුරු නියෝග නිකුත් කර තිබුණි.
මෙම පෙත්සම කැඳවන තිබුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.ටී.එස් මොරායස් හමුවේය.
ප්රතිවිරෝධතා තිබේ නම් ඔක්තෝබර් මස 10 වැනිදා ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර ඇත.
පෙත්සම නැවත සලකා බැලීම නොවැම්බර් මස 03 වැනිදා සිදු කිරීමට තීරණය කර ඇති අතර ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ නීතිඥ පුලස්ති රූපසිංහ පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් පෙනී සිටී.










