ඉංජිනේරු අධ්‍යාපන කුසලතා වෙනුවට, පාසල් අධ්‍යාපන විෂමතා මත සිසුන්ගේ ඉරණම තීන්දු කරන යෝජනා හකුලාගන්නා ලෙසත්, ඉංජිනේරු පීඨ දෙපාර්තමේන්තු තේරීම සදහා පවතින සම ප්‍රවේශ අයිතිය අහිමි කරන යෝජනා හකුළා ගන්නා ලෙසත් බලකරමින් ඉංජිනේරු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ( ESAC) විසින් අද (13) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
ඉංජිනේරු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අවස්ථාව ලබා දී ඇති අතර එම සාකච්ඡාව සඳහා ඉංජිනේරු පීඨ නියෝජනය කරමින් නියෝජිතයෝ සම්බන්ධ වූහ.
එම සාකච්ඡාවේදී සිසු ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති එකඟ වූ බවත් උද්ඝෝෂණයේ දී අදහස් දක්වමින් පේරාදෙණිය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති දිනුක දසනායක සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ඩිල්ෂාන් විතානගේ පැවසූහ.
එමෙන්ම ඉංජිනේරු පීඨ දෙපාර්තුමේතු සඳහා සිසුන් තෝරා ගන්නා ආකාරය පිළිබඳව මතුව ඇති ගැටළුට අදාලව සාදනීය මැදිහත් වීමක් සතියක් තුළ සිදුකිරීමටත් එලඹෙන අඟහරුවාදා (19) දින වනවිට සිය තිරණය ලබාදීමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති එකග වී තිබේ.
එමෙන්ම ඒ දක්වා කාලය තුළ වත්මන් යෝජිත ක්‍රමවේදය අනුව විශ්වවිද්‍යාල අයදුම්පත් ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇති බැවින්, එම ක්‍රමවේදය වෙනස්වීම අනුව සිසුන්ට සිය අයදුම්පත් වෙනස් කිරීම සඳහා සති දෙකක අභියාචනා කාලයක් ලබා දිය හැකි බවටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති එකඟවී ඇත.
මෙම ගැටලුව පිළිබඳ අදාල පාර්ශව සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වහාම සාකච්ඡාවක් සිදුකරන බවටද මෙහිදී එකඟතාවය පල කර තිබේ.
















































