සම්පත් තුයියකොන්තාට තීරණාත්මක ජයග්‍රහණයක්

සම්පත් තුයියකොන්තාට තීරණාත්මක ජයග්‍රහණයක්

තම මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට කරුණු දක්වමින් නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට එරෙහිව විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් පසුව තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

ඊයේ (07) එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ විභාග කිරීමෙන් පසුව එම ජයග්‍රාහී තින්දුව ලබා ගත්තේ ය. ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.

එයින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද බව දක්වමින් ගුවන් හමුදාපතිවරයා, ගුවන් හමුදාවේ ජේෂ්ඨ පරිපාලන නිලධාරියා ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම ඊයේ විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය ඉදිරියේ පෙනී සිටි රජයේ නීතිඥවරිය සම්පත් තුයියකොන්තාට එරෙහිව පනවා ඇති වාරණය ඉවත් කර ගන්නා බව දැනුම් දී තිබේ. මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ඉවත් කර ගැනීම නිල වශයෙන් ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එම ලිඛිත නිල නිවේදනය ඔක්තෝබර් 06 වෙනි දිනට පෙර පෙත්සම්කරුට ලබා දෙන ලෙස විනිසුරුවරුන් නියෝග කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ජේ. එම් විජේබණ්ඩාර සහ නීතිඥ සුනිල් වටගල පෙනී සිටියහ.

Facebook
Twitter
LinkedIn