පාස්කු ඉරිදා එල්ල කරන ලද අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වීඩියෝ පටයක් චැනල් 4 නාළිකාව මගින් හෙට (05) විකාශනය කිරීමට සූදානම්ව ඇති බව ද හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් එහි නගා තිබෙන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද අද (04) නිකුත් කරන ලද ‘අද පුවත්පතේ‘ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබේ.
චැනල් 4 නාළිකාව මගින් එම වීඩියෝ පටය පසුගිය අගෝස්තු 15 වෙනි දින විකාශනය කිරීමට නියමිතව තිබූ බවත්, එවකට සිටි රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් අදාළ නාළිකාවට ඉදිරිපත් කළ තොරතුරු අනුව එය විකාශය කිරීම හෙට දින දක්වා කල් දමා ඇති බව ද එම ප්‍රවෘත්තියෙන් හෙළිකර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 54 වෙනි සැසිවාරය මෙම 11 වෙනි දින ආරම්භ වන අතර එවැනි පසුබිමක මෙම වීඩියෝව විකාශනය කිරීම තුළින් ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තරව අපහසුතාවයට ලක්කර එල්ටීටීඊ හිතවාදී දෙමළ ජයස්පෝරාවට සහ විවිධ අන්තවාදී කල්ලිවලට අවස්ථාව සලසා දෙන බව ආරක්ෂක අංශ ප්‍රධානීහු ප්‍රකාශ කළ බව ය.










