ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව යටතේ මනිපූර් ප්‍රාන්තයේ හටගත් වාර්ගික ප්රචන්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම පිළිබඳව එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ලෝක් සභාවේ විවාදයකට එක් වෙමින් ලංකාවේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් මෝදි අගමැතිවරයා කරුණු දක්වා තිබේ.
අගමැති මෝදිට එරෙහිව ඉන්දීය කොන්ග්රස් පක්ෂය ඇතුළු විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබිණි. එමෙන්ම පසුගිය ආසන්න කාලයේ පැවති ප්‍රාන්ත මැතිවරණ ගණනාවකදී රාහුල් ගාන්ධි ප්රමුඛ විපක්ෂ නායකයින් මෙහෙයවන දේශපාලන සන්ධන ජයග්රහන අත්කර ගනු ලැබීය. මෙම පසුබිම තුළ ඉන්දීය අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයේදී ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ ආණ්ඩුව සමයේ 1974දී කච්චතිව් දූපත් ලංකාවට නිල වශයෙන් බාර දුන් බවට චෝදනා එල්ල කර ඇත. එයට පෙර එම දූපත් ඉන්දීය ධිවරයන්ගේ කටයුතු සඳහා යොදා ගත් අතර ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා ගමන් කිරීමේ දී මෙම දූපත් ද නිදහසේ භාවිතා කළ බව ප්‍රකාශ කර තිබේ. එහෙත් ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුමක් යටතේ කච්චතිව් දූපත් ලංකාවට පවරාදීම සඳහා ගාන්ධි අගමැතිවරිය ක්‍රියාකර ඇතැයි චෝදනා කර තිබිණි.
මේ නිසා ඉන්දීය ධීවරයන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ද මේ වනවිටත් දකුණු ඉන්දීය දැඩි මතධාරීන් එම දූපත් ඉන්දියාවට පවරා ගන්නා ලෙස තම පාලනයෙන් ඉල්ලීම් කර ඇති බවද ප්‍රකාශ කර තිබේ.










