මෙරට පැනනැගුණු අරගලයේ අරමුණු මෙතෙක් ඉටුවී නැති බවත් එම අරමුණු ඉටු කර ගැනීම සඳහා වංචාවෙන් දූෂනයෙන් තොර පාලනයක් පිහිටුවාගත් යුතු බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු බවත් රටේ ජනගහණයෙන් බහුතරයක් ජනතාව පවසති.
මේ බව අනාවරණය වන්නේ ගාලු මුවදාර අරගලය නිමා වී වසරක් ගත වන විට ජන මනස පවතින ආකාරය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරා ගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කර ගෙන සිදු කළ සමීක්ෂණයකිණි.
එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් වාර්තා වන්නේ,
රට නැවත ගොඩගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය යැයි ජනතාවගෙන් 51%ක් විශ්වාස කරන බවය.
අරගලය මගින් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් හා සිතුම් පැතුම් ඉටු වූයේ ද නැති ද කියා ඇසූ පැනයට ‘බොහෝදුරට නැත’ යන්න සමීක්ෂණයට සහභාගි වූ ජනතාවගෙන් 60%ක් පවසා ඇත. අරගලය මගින් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් හා සිතුම් පැතුම් බොහෝදුරට ඒවා ඉටු වූ බව 11%ක් පවා ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහසක් නැති බව 29%ක් පවසා ඇත.
එසේ නම්, රට ගොඩගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දැයි එම සමීක්ෂණයේදී ප්‍රකාශ 03ක් ඇසුරෙන් ජනතාවගෙන් විමසා ඇති අතර එහිදී උක්ත නියැදියෙන් 51%ක් පවසා ඇත්තේ රට යළි ගොඩනැගීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය බවය. එලෙස මත දක්වා ඇති ප්‍රතිශතය 51%කි.
රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යය යි යන ප්‍රකාශයට 34%ක් එකඟවී ඇති අතර ප්රජාතන්ත්රවාදයට වඩා ස්ථාවරත්වයට මුල් තැන දීම අවශ්‍ය බවට එකඟ වී ඇත්තේ 15%ක් පමණි.
මෙම සමීක්ෂණය සඳහා දත්ත එකතු කිරීම සඳහා සහාය වී ඇත්තේ වෑන්ගාර්ඩ් සර්වේබ පෞද්ගලික ආයතනය විසිනි.











