පොහොට්ටු මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ ජන්දයෙන් පත් කළ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරාගැනීමෙන් අනතුරුව මේ වනවිට එම පක්ෂයේ මන්ත්‍රීවරු 40කට අධික පිරිසක් අහිමිකරගෙන ඇති අතර ඉතිරි පිරිස රැකගැනීමේ විශාල අභියෝගයකට බැසිල් රාජපක්ෂ ඇතුළු පවුලේ සියලුදෙනා මුහුණ දී සිටින බව හෙළි වේ.
විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකුව සිටි නිමල් ලන්සා පොහොට්ටු මන්ත්‍රීවරු 40ත් 60ත් අතර පිරිසක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමග සෘජුවම සම්බ්නධ කර ඇති බව තහුවරු වී තිබේ. මීලඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් වික්‍රමසිංහ පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති අතර ආණ්ඩුවේ සහ එහි හිතවාදීන්ගේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මේ වනවිට මැතිවරණ කාර්යාලයක් පවා සූදානම් කරගෙන ඇත.
එම මැතිවරණ කාර්යාලය කොළඹ ලේක් ඩ්‍රයිව් පාරේ අංක 118 දරණ ස්ථානයේ පිහිටුවා ඇති අතර එය ලබා ගැනීම සහ කාර්යාලය සංවිධානය කිරීමේ මූලිකයා ලෙස නිමල් ලන්සා කටයුතු කර තිබේ. ප්‍රසන්න රණතුංගද මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාර්යයක් ඉටු කර තිබෙන අතර බැසිල් රාජපක්ෂගේ සමීපතමයන් ඔහු හැරයාම වලක්වා ගැනීමට පසුගිය සතියේද රනිල් වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව අනාවරණය වෙයි.
ඊට අමතරව බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ නායකයින් ආසන මට්ටමෙන් නැවත එම පක්ෂය ගොඩනැගීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට පෙර සිටි සභාපතිවරු සහ නගරාධිපතිවරු ඇතුළු මහජන නියෝජිතයින් නැවත පත් කිරීම වෙනුවෙන් මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගෙන එන ලද යෝජනාවට එරෙහිව නීතිපතිවරයාද කරුණු දැක්වීම හමුවේ ආසන මට්ටමින් පොහොට්ටු පක්ෂය නගා සිටුවීමට ක්‍රිය කරමින් සිටී.










