තරුණයින් පැහැරගත්තේ කරන්නාගොඩගේ ආරක්ෂකයා බව හෙළිවෙයි

2009 කප්පම් ලබා ගැනීමේ අරමුණින් පාසල් සිසුන් ඇතුළු තරුණයින් පැහැරගැනීමට එවකට නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩ මහතාගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නැමති නිලධාරියා සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ඊයේ (23) අධිකරණයේදී අනාවරණය කර තිබේ.

පැහැරගැනීමට ලක්වූ තරුණයින් කොළඹ හා ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරු තුළ පිහිටි භූගත සිරමැදිරිවල රඳවා තබා සිටී බවටද අනාවරණය කරගෙන තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ පුද්ගලියක ආරක්ෂක නිලධාරියා දෙහිවල ප්‍රදේශයේ දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැර ගැනීම ඇතුළු පැහැර ගැනීම් 11කට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඔහු සන්තකයේ තිබී අතුරුදන් තරුණයින් සිව් දෙනෙකුගේ ජාතික හැදුනුම්පත් හා ගුවන් ගමන් බලපත්‍ර සොයා ගැනීමට හැකි වී ඇත. තවද එම පැහැරගත් තරුණයින්ගේ ඥාතීන්ගෙන් එම නිලධාරියා රුපියල් කෝටිය බැගින් කප්පම් ඉල්ලා ඇති බව තහවුරු වී ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්තද සිල්වා මහතා ඊයේ වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු දුන් රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ මෙම තරුණයින් පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිටී බව හෙළිවී ඇති බවයි. එසේම මෙම තරුණයින් පැහැර ගැනීම හිටපු නාවික හමුදාපතිවරයා නොදැනුවත්ව ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ඇතුළු නිලධාරීන්ට සිදු කිරීමට කිසිදු ඉඩක් නොතිබූ බවය.

නඩුව ලබන මස 14 වැනි දින නැවත කැඳවීමට නියමිතය.

ආශ්‍රිත පුවත්:-

නාවික හමුදාවේ ඝාතන කල්ලියක් ගැන CID පරීක්ෂණ

Facebook
Twitter
LinkedIn