ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසය 60 ඉක්මවූ හා කොන්ත්‍රාත් කාලය අවසන් වූ සේවකයින් 20ක් පමණ ඉවත් කිරීමට අතුරු කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සමගම එහි වෙළෙඳ හා සංනිවේදන අංශයේ ප්‍රධානී (Head of Marketing & Communications) වජිර දසනායක යන පුද්ගලයාද ඉවත් කිරීමට සූදානම් වන බව පැවසේ. ඊට හේතුව වී ඇත්තේ එළැඹෙන ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය විකිණීම සම්බන්ධ ප්‍රවෘත්තිය පුවත්පත්වල පළ කිරීමේදී සිදු වී ඇතැයි කියන ගැටලු සහගත තත්වයක් බව පැවසේ.
මෙම සේවකයින් 20 දෙනා ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මසකට රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බව පැවසේ. මීට පෙරද ආරක්ෂක අංශවල සේවය කර පසුව විශ්‍රාම ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට එක්වූ සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මසකට රුපියල් ලක්ෂ 7ක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන බව පැවසේ.
රාජපක්ෂ සමයේ දූෂිතම ආයතනයක් බවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයින්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් දක්වා අර්බුදයට ඇද දමන ලදි. එය දේශපාලනීකරණය කිරීමත්, ක්‍රිකට් ආයතනය සතු මුදල් රාජපක්ෂ පවුලේ නාලිකාවට හා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමත්, තරඟ විකාශනයේදී සිදු කළ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා, ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රවේශපත්‍ර වංචාව ඇතුළු දැවැන්ත වංචා හා දූෂණ රැසක් එල්ල වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.









