බන්දුලගෙන් බන්දුලට හරහා වැටෙන්නම පා පහරක්

බන්දුලගෙන් බන්දුලට හරහා වැටෙන්නම පා පහරක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත ක්‍රියාකාරකම් පිළිබඳව 1990 දශකය මුලදී පොතක් ලියමින් කරුණු හෙළි කළ බන්දුල ගුණවර්ධන මේ වනවිට එයින් මතු කළ කරුණුවලට සම්පූර්ණයෙන්ම විරුද්ධව යමින් අද (10) ලංකාදීප පුවත්පතට ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවෙන් තහවුරු වී තිබේ.

එම පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව අසන ලද ප්‍රශ්නය සහ එයට ලබා දුන් පිළිතුර උපුටා ගෙන පහත දැක්වේ.

ප්‍රශ්නය:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය මේ වසරේ සැප්තැම්බර් පැවැත්වෙනවා. ඒ ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වෙන කොට සම්පූර්ණ කරල ද තියෙන්නේ?

පිළිතුර:- බොහොමයක් ඒවා සම්පූර්ණ කරලා තියෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තියෙනවා. ඛනිජ තෙල්, ගෑස්, පොහොර ආදී බොහෝ භාණ්ඩ හා සේවාවලට ඒවායෙහි පිරිවැය නිරූපිත මිල ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආණ්ඩුවට පවරාගෙන තියෙනවා.

අලාභ ලබන අනිත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරගත හැකි පරිද්දෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මෙහෙයවනවා. බදු ආදායම් ඉහළ නැංවීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කරලා තියෙනවා. දෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා කරන්න පුළුවන් උපරිමය ලංකාව ඉෂ්ට කරලා තියෙනවා. 

එහෙත් ඔහු 1990 දශකය මුලදී “ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව” යනුයෙන් නම් කළ පොත නිකුත් කළ අතර මූල්‍ය අරමුදල සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම අරමුදලේ ආර්ථික විශේෂඥ ඩේවිඩ්සන් එල්බුඩු කළ ප්‍රකාශයක් සඳහන් කර තිබේ. එය උපුටා ගෙන පහත දැක්වේ.

“කැමඩෙයස් මහත්මායනෙනි, ලේ කඳ කොතෙක්දැයි කිවහොත් එය දෙගොඩ තලා යන ගංගාවක් බඳු ය. ඒ ලේ වියලී කැටි ගැසෙයි. ඒ ලේ කැටි මගේ සිරුර පුරා තැවරී තිබේ. ඔබෙු සංවිධනයෙහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නාමයෙන් මා කළ දේ සෝදා හැරීමට ප්‍රමාණවත් සබන් ප්‍රමාණයක් මේ මුළු ධරනීතරයේ වුවද නැතැයි ඇතැම් විටෙක මට සිතේ.” වසර 12ක සේවා කාලයෙන් ඉල්ලා අස්වීමට ඩේවිඩ්සන් එල්බුඩු ලියූ ලිපිය බන්දුල ගුණවර්ධන විසින් ඉහත කී පොත සඳහා උපුටා ගෙන දක්වා තිබිණි.

Facebook
Twitter
LinkedIn