පාසල නිමවී නිවස බලා යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන්ව පැහැර ගැනීමට තැත් කළ බවත් ඔවුන්ගෙන් බේරී තමා නිවස කරා පලා ගිය බවත් පවසමින් 11 හැවිරිදි පාසල් සිසුවෙකු නාරාහේන්පිට පොලිසියට කරනලද පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව මේ වනවිට අනාවරණය වී ඇතැයිද එම පාසල් සිසුවාට අවවාද කර මාපින්ට බාර දුන් බවද පොලිසිය පවසයි.
ළමුන් පැහැර ගැනීමේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පට නරඹා මේ ආකායේ අසත්‍ය කථාවක් නිර්මාණය කළ බවට සිසුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.
බම්බලපිටිය ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගිය 23 වනදා පාසල නිම වී නිවසට යන අවස්ථාවේ පාර්ක් පාරේ දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු පැහැර ගැනීමට උත්සහ කළ බවට, ඔහු එම පිරිසෙන් බේරී නිවසට දිවගොස් සිද්ධිය පියාට දැනුම් දීමෙන් පසුව පියා සිසුවා සමග පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මෙම සිසුවාගේ පැමිණිල්ල ලද විගසම නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර දරුවා සඳහන් කළ ප්‍රදේශය අවට සියලු CCTV කැමරා පරීක්ෂාවට ලක් කළද එම ප්‍රදේශයේ එවැනි සිද්ධියක් නිර්ක්ෂණය වී නොමැති අතර පසුව සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අදාල කරුණු අනාවරණය වූ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.









