මිලේනියම් සිටි සිද්ධිය: – “මා විශිෂ්ට වැටලීමක් කළා කියා නි.පොලිස්පති ප්‍රශංසා කළා” – උඩුගම්පළ උසාවියේදී කියයි

මිලේනියම් සිටි සිද්ධිය: – “මා විශිෂ්ට වැටලීමක් කළා කියා නි.පොලිස්පති ප්‍රශංසා කළා” – උඩුගම්පළ උසාවියේදී කියයි

මිලේනියම් සිටි ආරක්‍ෂක නිවස වටලා එහි රැස්කර තිබූ ගිනි අවි ඇතුළු යුද උපකරණ හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු ඇතුළු සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ හිටපු පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරිය, තමා සිදුකර ඇත්තේ විශිෂ්ට වැටලීමක් බව පෙන්වා දෙමින් තමාට ප්‍රශංසා කළ බව මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පළ ඊයේ (17) කොළඹ මහාධිකරණ හමුවේදී සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

එම වැටලීමට අදාළ විමර්ශන කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඉතා දීර්ඝ උපදෙස් මාලාවක් ලිඛිතව ලබාදුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් ගිනි අවි ඇතුළු යුද උපකරණ වීඩියෝ ගතකර හා ඡායාරූප ගතකර තබාගන්නා ලෙසට තමාට නියෝග කළ බවද සාක්‍ෂි දෙමින් ඔහු පැවැසීය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ මෙහෙයවීම යටතේ ඔහු එසේ සාක්‍ෂි දුන්නේය.

අතුරුගිරිය මිලේනියම් සිටි හි පිහිටි යුද හමුදා ආරක්‍ෂක නිවාස වටලා රටේ භෞමිත අඛණ්ඩතාවය සුරැකීමේ මෙහෙවරට උරදී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන යුද රහස් හෙළිකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කුලසිරි උඩුගම්පළට එරෙහිව පවරා තිබූ නඩුවේ විත්තියේ සාක්‍ෂි විභාගය ඊයේ මහාධිකරණ විනිසුර ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේදී පැවැත්විණි.

වැඩිදුර විභාගය ලබන 05 වැනිදා දක්වා කල් තැබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා පැමිණිල්ල මෙහෙය විය.

දිවයින

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්