පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම ජුනි මස 09 වනදා කැඳවන ලෙස, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ නියෝග කර ඇත.
ඉකුත් මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ජනාධිපති නීතීඥ නයිජල් හැච්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශාන්ත ජයවර්ධන සහ ලේඛනගත නීතීඥ ශානිකා ද සිල්වා මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සමෙන් නීතිපති, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.









