අනුරපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 09ක් රෝහල හැර ගිහින් – වෛද්‍යවරු රට හැර යාමත් ඉහළට

අනුරපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 09ක් රෝහල හැර ගිහින් – වෛද්‍යවරු රට හැර යාමත් ඉහළට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් 09 දෙනෙකු රෝහල හැර ගොස් ඇතැයිද මේ අතරින් වෛද්‍යවරුන් 06 දෙනෙකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා එම ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම වාට්ටුව වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කර තිබිණි.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාවද මේ වනවිට අහිමිව ගොස් තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මේ සම්බන්ධයෙන් පවසන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බව දන්නා බවත් තවත් වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇති නමුත් ගණන කොපමණද යන්න කිව නොහැකි බවත්ය.

එමෙන්ම, මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුවේ පැන නැගී ඇති වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැනුවත්ව සිටින බවත්, එම ගැටලුවලට තවම විසඳුමක් නැති බවත් ඔහු පවසයි.

ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාඩු ලබා විදේශගත වීම කවදත් සිදුවන දෙයක් බවත් එය රාජකාරි ස්වභාවයක් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

සේවය අතහැර විදෙස්ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් කිහිපදෙනකු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යොමු කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා රෝගීන්ට විශාල බලපෑමක් එල්ල වී නැති බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn