රනිල්ගේ කමිටුව මහ බැංකු අධිපති බේරා ගනී

පසුගිය පෙබරවාරි 27 වෙනි දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය කිරීම පිළිබඳව පරීක්ෂා කිරීමට අගමැතිවරයා විසින් පත් කරන ලද ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව මේ දක්වා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට හෝ ලබාදී නැති අතර මහ බැංකු අධිපතිවරයාට එරෙහිව, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමද ඉවත දමා ඇත.

ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව අනුව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදාළ ගනුදෙනුවට සම්බන්ධ නැති බව සඳහන් වන්නේ යැයි අගමැතිවරයාට අයත් ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් දක්වා තිබිණ.  කමිටු වාර්තා පිළිබඳව මෙම අමාත්‍යාංශ නිවේදනය නිකුත් කිරීම හැරුණුකොට මේ දක්වා වැඩි විස්තර කිසිවක් හෙළිකර නැත.

 

මේ අතර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව මෙම මූල්‍ය වංචාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ඉවත හෙළීමෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කරන තීන්දුවක් ද ලබාදුන්නේය.  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල ප‍්‍රවීනත්වයක් දරන තිදෙනෙක්ය.  එනම් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න, මහ බැංකුවේ සේවය කළ ආචාර්ය පී. උස්වත්ත ආරච්චිගේ සහ සිවිල් ඉංජිනේරු ඒ.පී. විශ්වලිංගම් යන තිදෙනාය.

Facebook
Twitter
LinkedIn