මළල ක්‍රීඩා මුල් පුටුව සුගත්ට

අද (14) පැවැති ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී සභාපති ධූරයට වැඩි ඡන්ද 59කින් හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න පත්වී තිබේ.

නිලවරණයට අදාළ ඡන්ද විමසීම ජාතික ක්‍රීඩා විද්‍යා ආයතන පරිශ්‍රයේ පැවැති අතර සුගත් තිලකරත්න සමග සභාපති ධූරයට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත් වූ අතර නිලවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වී ඇත්තේ ඡන්ද 24ක් පමණි. සුගත් තිලකරත්න ඡන්ද 83ක් ලබා ගැනීමට සමත් වී තිබේ.‍

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් ආසියානු රන් පදක්කම් ලාභියෙකු වන සුගත් තිලකරත්න මහතා මළල ක්‍රිඩාවට අත්ව තිබූ ඛේදනීය තත්වය හමුවේ ක්‍රීඩාවෙන් සමුගනු ලැබූවෙකි. නිලවරණයට ඉදිරිපත් වෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ මළල ක්‍රීඩාව නගා සිටුවීමට නම් වෘත්තීය වශයෙන් ක්‍රීඩකයින් බිහි කළ යුතු බවය.

ඉදිරි වසර දෙකක කාලයක් සඳහා ඔහුට මළල ක්‍රීඩා මුල් පුටුව හිමි වන අතර මේ වනවිට ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව පත් කර ඇති තත්වයෙන් ගොඩ ගෙන සෑබෑ දක්ෂයින් ඉදිරියට ගෙන ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයේ බැබලීමට ඔහුට හැකි වේවායි අපෙගේ පැතුම වන අතර මළල ක්‍රීඩාවේ වඩා පැහැදිලි වෙනසක් ඇති කිරීමට ඔහුට හැකි වේදැයි අප බලා සිටිමු.

Facebook
Twitter
LinkedIn