ජාතික ජන බලවේගයට සහය පලකරන සරසවි ප්‍රජාවේ විශේෂ සමුළුවක් මාර්තු 18 උදේ 10ට ශ්‍රී ලාංකා පදනම් ආයතනයේ පැවැත්වෙන බව “මාලිමාව වෙනුවෙන් සරසවි ප්‍රජාව” සංවිධානයේ විධායක කමිටුව වෙනුවෙන් ආචාර්‍ය දිලීප විතාරණ සහ මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එහි විශේෂ දේශන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ආචාර්‍ය හරිනි අමරසූරිය, ආචාර්‍ය දිලීප විතාරණ, මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති, ආචාර්‍ය මනෝජි හරිශ්චන්ද්‍ර, සමන්ත ප්‍රියදර්ශන, ජ්‍යෙෂ්ඨ කතාකාචාර්ය ජනහ සෙල්වරාස් විසිනි.
මෙවැනි සමුළුවක් පැවැත්වීමේ හේතුපාඨය ලෙස එම නිවේදනයේ දැක්වෙන්නේ,
“ශ්‍රී ලංකාවේ පුරවැසි ප්‍රජාව වන අපගේ ප්‍රජාතන්ත්‍රීය හිමිකම් මෙතරම් දරුණු ලෙස කොල්ල කෑ යුගයක් නැති තරම් ය. මැතිවරණ අයිතිය මහදවල් පැහැරගෙන ඇති සේ ය. දෛනික දිවිය ව්‍යසනයක් ව ඇත. වෘත්තීයවේදීන් අසරණ කර ඇත. මේ දුෂ්ට චක්‍රයෙන් මිදුණු ගෞරවණීය හා සධාරණ ජීවිතයක් බිහිකර ගැනුමට හෘදසාක්ෂ්‍යයක් සහිත පුරවැසි ප්‍රජාවක් ලෙස මැදිහත් විය යුතු බව අපි, එනම් සරසවි ප්‍රජාව කල්පනා කරමු. එම යුක්තිගරුක ලංකාව බිහි කළ හැකි එක ම දේශපාලන ප්‍රවාහය ලෙස ජාතික ජන බලවේගය හඳුනාගත් අපි, අපේ මහ සමුළුවක් තබා අප ප්‍රයත්නය සලකුණු කිරීමට තීරණය කළෙමු.” යනුවෙනි.










