සමෘද්ධි බැංකුවලින් කෝටි 12ක් පිල්ලි ගිහින්

සමෘද්ධි බැංකුවලින් කෝටි 12ක් පිල්ලි ගිහින්

සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 – 2018 වසර පහේදී සිදුවී ඇතැයි පැවසෙන වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 12කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ කාලයේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සංඛ්‍යාව 135කි.

බැංකු මුදල් මෙලෙස අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් දිවිනැඟුම ප්‍රතිලාභීන් සඳහා මුදල් යෙදවීමට බාධා ඇතිවී තිබු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2018 සහ 2019 විගණන වාර්තාවලින් පෙන්වා දී තිබුණද ඉහළ කළමනාකාරීත්වය ඒවා වළක්වා ගැනීමට නිසි පරිදි කටයුතු කර නැතැයිද වාර්තාවේ දැක්වේ.

මේ අතර සමෘද්ධි එෆ්.එම් අන්තර්ජාල රේඩියෝව වෙනුවෙන් ක්‍රියාත්මක විකාශන මධ්‍යස්ථානයේ උපකරණ සහ පාලන මැදිරියේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 23ක මුදලක් ගෙවා තිබුණද ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නතරවී තිබූ බව විගණන කාර්යාලය පවසයි.

දුගී බව අවම කිරීමේ සංවර්ධන කාර්යයන්ට සහ අඩු ආදායම්ලාභී ජනකොටස්වල උත්සාහයන්ට උරදෙන සන්නිවේදන රටාවක් ගොඩනැගීම මෙම රේඩියෝවේ අරමුණ විය.

අන්තර්ජාල පහසුකම් නොමැති සමෘද්ධිලාභි අඩු ආදායම්ලාභීන්ට මෙවැනි අන්තර්ජාල ගුවන් විදුලි සේවාවකින් ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම හැකියාවක් පවතීද යන්න ප්‍රශ්න සහගත බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ අතර සමෘද්ධිය වෙනුවෙන් ඊ පුවත්පතක් එළි දැක්වීම සඳහා 2020 වර්ෂයේදී ලක්ෂ 53කට වැඩි මුදලක් වැය කර ඇතත් එම පුවත් පත පරිශීලනය කර ඇති සමෘද්ධිලාභීන් සංඛ්‍යාව පහළොස් දහස් දෙසිය හැත්තෑ නවයක් (15,279) බව පවසන විගණන අංශය එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් 0.86%ක් බවද පෙන්වා දෙයි.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn