අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි..
මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවද වර්තා වේ.
විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භවීමත් සමග 40%කින් පමණ අඩුවී පැවතුණ බවත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල, ජලසම්පාදන, ජලාපවාහන මණ්ඩලවල නිලධාරීන් පෙන්වා දෙයි.
මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකියි.
බොහෝ දෙනා විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ, විද්‍යුත් කේතල සහ සිවිලිම් විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ.
මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැටක් පමණ වන අතර සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24ක් පමණ වේ.









