ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යක්ගහ ගමේ පදිංචි ලලිත් චන්ද්රනාථ මහතා විසින් නිර්මාණය කරනු ලැබූ දුටුගැමුණු රජතුමාගේ අනුරුවක් පසුගිය 2 දින සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා විසින් නිරාවරණය කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ සියඹලා දැව කොටයක් උපයෝගි කොට ගෙන මෙම නිර්මාණය කර තිබීමයි. එය කල්තබා ගතහැකි වන ආකාරයට බෙහෙත් ගල්වා ඇති අතර අඩි 20ක් පමණ උසකින් යුක්ත වේ.
කැටයම් කලාව පිළිබඳ විශේෂ දක්ෂතාවයක් සහිත ලලිත් චන්ද්රනාථ මහතාට මෙම නිර්මාණය සිදු කිරීමට මාස 8ක පමණ කාලයක් ගතවී ඇති අතර එයට අවශ්‍ය වියදම් සපයා ගැනීම වෙනුවෙන් තමන් සතු ත්‍රීරෝද රථය විකිණීමට සිදු වූ බව ප්‍රකාශ කරයි. එසේම මේ වනතෙක් තමන්ගේ හැකියාවන් ඇගයීමට කිසිවෙකුත් කටයුතු නොකළ බවත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් මේ සඳහා නොලැබුණු බවත්ය.
ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන යක්ගහ ප්‍රදේශයේ ජීවත් වන මෙම නිර්මාණකරුවා බලා පොරොත්තු වන්නේ මෙම නිර්මාණය අව්වෙන් හා වැස්සෙන් ආවරණය කර ගැනීමට වහලයක් සාදා ගැනීමට උපකාරී වන ලෙසය. සිය නිර්මාණය නැරඹීමට පැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම නිර්මාණය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශවාසීන් හා අවට විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාද සහභාගී වී තිබේ.












