සෝවියට් දිවියක මතක සුවඳ නම් කෘතිය නියමුවා ප්රකාශනයක් ලෙස පසුගිය දෙවැනිදා සවස ජාතික පුස්තකාලයේදී එළිදැක්වීම සිදු කෙරිණ. මෙහි විශේෂත්වයක් වූයේ සෝවියට් ලේඛකයකුගේ කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමේදී එම මුල් කෘතියේ කතුවරයා එයට සහභාගී වීම ලංකාවේ ප්‍රථම වරට සිදු වූ විරල අවස්ථාවද මෙය වීමය. මුල් කෘතියේ කතුවරිය ඉරීනා මලෙන්කෝවා නම් සෝවියට් ලේඛිකාවය.
මෙම අවස්ථාවට ප්‍රවීණ සෝවියට් කෘති පරිවර්තකයකු වන ගුණසේන විතාන, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා කෘතියේ පරිවර්තක ප්‍රසන්න පෙරේරා යන අය සහභාගී වූහ. ප්‍රසන්න පෙරේරා මහතා කෘතිය පිළිබඳව හැදින්වීමක් සිදු කළ අතර ඉරීනා මලෙන්කෝවා කතුවරියද කෘතිය රචානා කිරීමට සිදු වූ පසුබිම පිළිබඳව හා සමාජවාදය බිඳවැටීමෙන් පසුව රුසියාව තුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී විශේෂ දේශනය ගුණසේන විතාන මහතා පැවැත්වූ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තම දිවියේ වසර 82ක් පුරා රැස් කරගත් දැනුම් සම්භාරය සහිත සාහිත්‍යය කෘති හා පරිවර්තන කෘති සියල්ල සහිත පුස්තකාලයේ මාක්ස්වාදී ග්රන්ථ ජනතා විමුක්ති පෙරමුණට පිරිනමන බව ප්‍රකාශ කිරීමය. එය සංකේතවත් කරමින් එම අවස්ථාවේදී ඔහු විසින් ග්රන්ථ කිහිපයක් ටිල්වින් සිල්වා මහතා වෙත ලබා දීමද සිදු කෙරිණ.
ප්‍රධාන දේශනය සිදු කළ ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ ඉරීනා මලෙන්කොවාගේ සෝවියට් දිවියක මතක සුවද කෘතිය කියැවීමෙන් තමන් ආදරයක කළ නැතිවෙලා තිබූ දෙයක් නැවත හමුවුණාම දැනෙන හැගීම එම කෘතිය කියැවීමෙන් ලැබුණ බවත් සමාජවාදයේ ආශ්වාදය, සුවඳ එම කෘතිය හරහා ලැබුණු බවත්ය. සෝවියට් දේශය අපේ දෙවැනි මව්බිම වශයෙන් සැලකූ බවත් එය බිඳවැටීම දරාගැනීම අපහසු වූ බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සොවියට් දිවියක මතක සුවඳ කෘතියේ විශේෂත්වය වන්නේ එහි කතුවරිය සෝවියට් රුසියාවේ ඉපදී වයස අවුරුදු 22දී අයර්ලන්තය සහ නෙදර්ලන්තය බලා පිටත්ව ගොස් එම රටවල දේශපාලන ආර්ථික තත්වය පිළිබඳ අත්දැකීම් ලබා ධනවාදය පිළිබඳ ලබා ගත් අත්දැකීම් සහ සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු සිදු වී තිබෙන වර්තමාන ඛේදවාචකයන් යන ක්ෂේත්‍ර තුනම විවරණය කර තිබීමය.













