පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා ගිය අවස්ථාවක ඔවුන්ට විරෝධය පළ කරමින් පිල්තෝලයකින් සන්නද්ධව කඩා වැදුණු හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු එම සිද්ධියෙන් වසරකුත් මාසයකට පසුව අද (29) උදේ විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2014 මාර්තු මාසයේ මොහු මෙම සන්නද්ධ මැර ක්‍රියාව සිදු කළ අතර ඒ පිළිබඳව වීඩියෝ දර්ශන පවා තිබියදී නීතිය ක්‍රියාත්මක නොකර තිබිණ. ඒ පිළිබඳව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කරමින් මහජනතාව හමුවේ සත්‍යතත්වය හෙළි කළේය. රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නීතිය ක්‍රියාත්මක නොකිරී තිබූ අතර රාජපක්ෂ පාලනයට විරුද්ධ පිරිස් දඩයම් කිරීමට නීතිය යොදා ගනු ලැබීය.

මෙම තත්වය තුළ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම පිළිබඳව ජාත්‍යන්තරයෙන් පවා රාජපක්ෂ පාලනයට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ. ඒ කිසිවක් නොතකා සිටි රාජපක්ෂ පාලනය පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ආසන්නයේදී එම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා වූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප අත්අඩංගුවට ගත්තේය. මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක නොවූ එරාජ් රවීන්ද්‍ර අද අත්අඩංගුවට ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

Facebook
Twitter
LinkedIn