රක්ෂිත බන්ධනාගාරගත කර දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට නැවතත් මාස තුනක කාලයක් සඳහා අද (28) දිනයේ නිවාඩු ලබා දී තිබේ.
නිවාඩු ලබා ගැනීමට අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරවාගෙන තිබේ. එම යෝජනාවට කිසිවෙකුත් විරෝධය නොදැක්වූ බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට පෙරද ඔහු ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඇමෙරිකාවට පිටත්ව ගිය අතර එහිදීද මාස 3ක කාලයක් සඳහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු ලබා ගත්තේය. අද දිනයේදී බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා නිවාඩු ලබා ගනු ලැබුවේ දෙවන අවස්ථාවට වීම විශේෂත්වයකි.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සිදු කළ විමර්ශනයකින් අනතුරුව හිටපු ඇමතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර මැයි මස 5 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරුකර එවා ඇත.









