ප්‍රංශ කම්කරු පංතිය පැරීසිය වටලයි !

ප්‍රංශ කම්කරු පංතිය පැරීසිය වටලයි !

යුක්රේන – රුසියානු යුද්ධය හා කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතක තත්වයකට මුහුණ දී සිටින ප්‍රංශය මේ වනවිට දැවැන්ත කම්කරු සටන්වල තෝතැන්නක් බවට පත් වෙමින් තිබේ. ජනාධිපති මැක්රෝන් රජය විසින් විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩිකිරීමට විරෝධය පාමින් ලක්ෂ 04ක ජනතාවක් පසුගිය 19වනදා පැරිස් නුවර ආක්‍රමණය කරනු ලැබුවේ රට පුරා කම්කරුවන් විසින් කැඳවන ලද සමස්ත මහා වැඩ වර්ජණයක්ද සමගිනි.

පසුගිය වසරේදී අන්තර් ජාතික මුල්‍ය අරමුදල විසින් ප්‍රංශයට අනතුරු හඟවනු ලැබුවේ කොරෝනා වසංගතය හේතුවෙන් තම නිෂ්පාදන ඇනහිටීම නිසා වසා දැමුණු කුඩා හා මධ්‍යම කර්මාන්ත හිමියන්ට හා ජනතාව වෙත ලබා දෙන සහනාධාර වහා අත්හිටවනු නොලැබුවොත් රටේ ණය සංචිතය මේ වනවිට සඳහන් වන 98% ප්‍රමාණයෙන් දල ජාතික නිෂ්පාදනයෙන් 120% සීමාව දක්වා ඉක්මවා ගොස් දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය විය හැකි බවයි. එහෙත් මෙම වාර්තාව ප්‍රංශ රජය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවත් රටේ ආර්ථික වර්ධන වේගය 0.2කින් 2022 වර්ෂය තුළදී අහිමි වී තිබිණි. එසේම උද්ධමනය 7%කින් ඉහළ යාම හේතුවෙන් භාණ්ඩවල මිල 20%කින් 30%කින් ඉහළ ගොස් ඇති අතර රජයෙන් අවම අදායම් ලබන පිරිස් වෙත ලබා දෙන සහනාධාර තවත් ඉහළ නැංවීමට මක්රෝන් රජයට සිදුවී තිබිණි. එසේම නවතම වාර්තාවලට අනුව පසුගිය වසරේදී පමණක් ප්‍රංශයේ කුඩා හා මධ්‍යම සමාගම් 42,500ක් වැසී ගොස් පුද්ගලයින් 142,500කට රැකියා අහිමි වී තිබේ. රටේ රැකියා වියුක්තිය දර්ශකයක් ලෙස 8.5%ක් ලෙස රාජ්‍ය වාර්තාවල සඳහන් වේ.

යුරෝපා සංගම් වාර්තාවකට අනුව යුක්රේන – රුසියා අර්බුධය අවසන් නොවීම තුළ යුරෝපයේ බලශක්ති අර්බුධය තව දුරටත් ත්‍රිව විය හැකි බවත් එම නිසා උද්ධමනය, ආර්ථික අවපාතය හේතුවෙන් සියළුම යුරෝපීය රටවල කම්කරු සටන් ඇවිලියාමේ ඉඩක් පවතින බවට අනතුරු හඟවා සිටි. විශේෂයෙන්ම මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ආර්ථික උද්ධමනය 10.5ක් දක්වා ඉහළ යාම හේතුවෙන් රට පුරා වර්ජන රැල්ලක් මතු වී ඇති අතර ප්‍රංශයේ එම අගය 5.9%ක් ලෙස සඳහන් වේ. තත්වය සමනය කරලීම සඳහා යුරෝපා කොමිසම විසින් යුරෝ බිලියන 672ක ආධාර සාමාජික රටවලට ලබා දීමට පසුගිය 19වනදාම තීරණය කර තිබිණි. මෙම මුදලින් බිලියන 161ක් ප්‍රංශයට ලබා දෙනු ඇත.

ප්‍රංශයට කිවිසුමක් ගියහොත් එය යුරෝපයේ සියළුම රටවලට නිව්මෝනියාවක් වනු ඇතැයි 1848දී ඔස්ත්‍රෝ හංගේරියානු වාන්සල් වරයෙකු වන ferdinand v පැවසුවේ පැරිස් නුවර කම්කරු විප්ලවය මග තෝරා ගනිමින් ඔස්ත්‍රෝ හංගේරියානු අධිරාජ්‍යය පුරා ජාතික විමුක්ති අරගල ඇවිලීයාමට පෙරසිටමය. ඒ අනුව යුරෝපා සංගමය කඩිමුඩියේ ඩොලර් බිලියන 160ක් ප්‍රංශය වෙනුවෙන් වෙන් කරනු ලැබුවේ මෙම අනතුර හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව බව පැහැදිලිය.

පසුගිය 19 දිනයේදී මිලියන දෙකක ජනතාවක් ප්‍රංශයේ වීදි බසිනු ලැබුවේ පාලක මක්රෝන් රජය විසින් විශ්‍රාම යාමේ වයස 62 සිට 64 දක්වා දීර්ඝ කිරීමට විරුද්ධව වුවද ඒ සඳහා ප්‍රංශ ජනතාව විසින් ලබා දී තිබිණු සහය දෙස නිරීක්ෂණය කිරීමේදී පෙනී යනුයේ ප්‍රංශය පුරා ආර්ථික අර්බුධය හේතුවෙන් දැවැන්ත සමාජීය හා දේශපාලන ප්‍රශ්ණයක් නිර්මාණය වෙමින් පවතින බවයි.

මෙම ජනවාරි 19 සමස්ත මහා වර්ජනයට රටේ සියළුම කේෂ්ත්‍ර සමබන්ධ වී තිබීම කැපී පෙනෙන අතර සමස්ත ගමනාගමනය හා ඉන්ධන බෙදාහැරීම රට පුරා ඇන හිට තිබිණි. පෙළපාලි සඳහා පොලීසිය හා ආරක්ෂක අංශ පවා එක්වී තිබුණු බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී තිබිණි. පසුගිය 19 වනදා හවස් කාලය වනවිට සමස්ත මහා වැඩ වර්ජනය අති සාර්ථක බව මක්රෝන් රජයේ ප්‍රකාශකයෙකු විසින්ම නිල වශයෙන් පිළිගනු ලැබුවේය. රජයේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ යෝජනාවට කිරීමට එරෙහිව ජනවාරි 23 නැවතත් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන අතර 31 වැනිදා සිට නොනවතින වර්ජනයක් දක්වා අරගලය දීර්ඝ කරන බව ප්‍රංශ වෘත්තීය සමිති රජයට අනතුරු හඟවා සිටිති.

Facebook
Twitter
LinkedIn