රනිල්+මෛත්‍රී සමයේ කැස්බෑවේ ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි 06කට අධික මුදල වතුරේ

රනිල්+මෛත්‍රී සමයේ කැස්බෑවේ ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි 06කට අධික මුදල වතුරේ

බුද්ධශාසන අමාත්‍යංශය ලයිට් ඔෆ් ඒෂියා පෞද්ගලික සමාගම සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු “ශාඛ්‍ය ජනපදය” ප්‍රතිනිර්මාණය කිරිමේ ව්‍යාපෘතියට වසර තුනකදී කෝටි 6.36ක් වැය කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍යංශය හා පෞද්ගලික ආයතනයක් (ලයිට් ඔෆ් ඒෂියා) ඒකාබද්ධව එම පෞද්ගලික ආයතනයේ ආධාර යටතේ ඉදිකිරිම් සිදුකිරිමේ එකගතාවයක් ඇතිවය.

මෙහි මුල්ගල තබා වැඩ ආරම්භ කරන්නේ වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ බුද්ධශාසන ඇමතිව සිටියදීය.

විගණන වාර්තාවට අනුව 2017 සිට වසර තුනක් තුළදී මෙහි ආරක්ෂක හා වෙනත් වියදම් ලෙස ඉහත මුදල වැය කර ඇති අතර ඒ තුළ අමාත්‍යංශයේ වැය කළ රුපියල් එක්කෝටි දාහත් ලක්ෂ අසූ හතර සහස් හාරසිය පහක් (රු. 11,784,405)ද පෞද්ගලික ආයතනයෙන් වැය කළ රුපියල් පන්කෝටි දහඅට ලක්ෂ පහලොස්දහස් පන්සිය දාහතරක් (රු. 51,815,514)ද ඇතුළත් වේ. ඒ අනුව රුපියල් හයකෝටි තිස්පන්ලක්ෂ අනූනවදහස් නවසිය දහනවයක් (රු. 63,599,919) වැය කොට ඇත.

සැලසුම් කළ පරිදි ඉදිකිරිම් සිදුනොකර ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඒ සඳහා වෙන්කළ (අක්කර හැත්තෑඅටක) ඉඩමෙන් අක්කර පහක් පමණක් බුද්ධශාසන අමාත්‍යංශයට තබාගෙන ඉතිරි කොටස සත්වෝද්‍යානයක් ඉදිකිරිම සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරීමට 2020 නොවැම්බර් 03 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම මුදල් වැය කිරිම සම්බන්ධයෙන් ගිවිසුම අනුව අමාත්‍යංශයේ සොය බැලීමක් අනුමැතියක් තිබිය යුතු වුවද එවැන්නක් සිදුව නැති බවද එම වියදම් සම්බන්ධයෙන් විධීමත් ගිණුම් කටයුත්තක් සිදුව නැති බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර 2021.09.27 දින දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම භූමිය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් හා ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් බවට පත් කිරීමට යෝජනා වී ඇති බවය. එවකට දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ විජිත බේරුගොඩ එකළ මෙහි සංචාරයක නිරතවිමෙන් පසු සඳහන් කර තිබුණේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ සමගද තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

Facebook
Twitter
LinkedIn