ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි 27 වනදා පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූයේයැයි කියන විශාල මූල්‍ය වංචාවක් පිළිබඳව ආණ්දෝලනාත්මක තත්වයක් ඇති කිරීමට කටයුතු කළ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගිය සඳුදා සිට නිවාඩු ලබා ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසූ අතර එම ත්‍රි පුද්ගල කමිටුව සම්බන්ධයන් ජවිපෙ නායක අනුර දිසානායක මහතා දැඩි විවේචනයක් එල්ල කළේය. ඒ ආණ්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව පාරිලිමේන්තුවේ ස්ථාවර නියෝග 23/2 යටතේ අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නක් මගිනි. එම ප්රශ්නය පහතින් පල වේ.
ස්ථාවර නියෝග 23/2 නගනු ලබන ප්රශ්නය
පසුගිය පෙබරවාරි 27වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර නිකුතුව ආශ්‍රිතව උද්ගතවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
පෙබරවාරි 27වැනි දින බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බවට මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි 25 වැනිදා දැන්වීමක් පළකර තිබුණා. එම බැඳුම්කර මේ වසරේ මාර්තු 01වැනිදා සිට 2045 මාර්තු 01 දා දක්වා අවුරුදු 30කින් කල්පිරෙන ලෙසත් උපරිම පොලී අනුපාතය 12.5%ක් වන පරිදි රුපියල් මිලියන 1000ක් සඳහා නිකුත් කරන බවත් එහි සඳහන් වුණා.
සාමාන්‍යයෙන් මෙම බැඳුම්කර නිකුත් කිරීමේදී ලැබෙන ඉල්ලූම අනුව පූර්වයෙන් ප්‍රකාශයට පත්කරන ලද වටිනාකමට වඩා යම් වැඩි වටිනාකමක බැඳුම්කර නිකුත්කරනවා. එහෙත් සාමාන්‍යයෙන් එය දෙගුණයකට වඩා වැඩි වන්නේ නැහැ. නිදසුනක් ලෙස 2014 වසරේ ජනවාරි සිට පවත්වන ලද වෙන්දේසි 06කදී මිලියන 5000 මිලියන 5500ක් ලෙසද මිලියන 3000 මිලියන 3050ක් ලෙසද මිලියන 5000 මිලියන 6150ක් ලෙසද මිලියන 4000 මිලියන 5300ක් ලෙසද මිලියන 2000 මිලියන 2950ක් ලෙසද මිලියන 3000 මිලියන 4000ක් ලෙසද පිළිවෙළින් නිකුත් කරනු ලැබුවා. එහෙත් 2015 පෙබරවාරි 27වැනි දින මෙම බැඳුම්කර නිකුත්කිරීමේදී මිලියන 1000ක් වෙනුවට අසාමාන්‍ය ලෙස දස ගුණයකින් එම අගය ඉහළ දමා මිලියන 10,058ක් වටිනා බැඳුම්කර වෙන්දේසි කරනවා. මෙය අතිශයින් සැක කටයුතු ගනුදෙනුවක් බවට සැක මතුකරන පළමු අවස්ථාවයි.
මේ බැඳුම්කර වෙනුවෙන් 12.5%ක පොලියක් තීරණය කර තිබුණද මේ දිනවල ඒවායේ වෙළඳපොළ පොලී අනුපාතය 9.5%ක් පමණ වූවා. මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවන් වන බැංකු සහ තවත් මූල්‍ය ආයතන මේ අවම පොලී අනුපාතය එය බව දැන සිටියා. වෙන්දේසියේදී ඉදිරිපත්වූ ලංසුවලට අනුව රුපියල් මිලියන 1000කට අදාළ බැඳුම්කර සඳහා වෙන්දේසිය සීමා කරනු වෙනුවට මිලියන 10,000කට වඩා වැඩි අගයකට යාමෙන් පොලී අනුපාතයද 9.5% හෝ ඊට ආසන්න අගයකට පවත්වා ගැනීමට නොහැකි වී 12.5%ක උපරිම අගයට ඉහළ ගියා. මෙම බැඳුම්කර කල්පිරීමට වසර 30ක කාලයක් ගතවන බැවින් මෙමගින්ද මහ බැංකුවට සිදුවූයේ බිලියන ගණනක පාඩුවක්.
සාමාන්‍යයෙන් මේ දක්වා රුපියල් මිලියන 1000ක් වැනි මුදලක් අවුරුදු 30ක දිගු කාලීන පදනම මත 12.5%ක් වැනි ඉහළ පොලියකට මහ බැංකුව විසින් ලබාගෙන නැහැ. එහෙත් මෙවර වෙන්දේසි නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේදී එවැනි ප්‍රකාශයක් සිදුකර තිබුණා. එය තුළද මතුවන සැකය වන්නේ මෙය ඊට වඩා ඉලක්ක සහගත වැඩි මුදලකට යාමේ අදහසක මහ බැංකුව පූර්වයෙන්ම සිටියාද යන්නයි.
අනෙක් අතට සාමාන්‍යයෙන් බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කරනු ලබන ආයතන එම මුළු බැඳුම්කර ප්‍රමාණය තමන්ට නොලැබෙන බව දන්නවා. බොහෝවිට එක් ආයතනයකට ලැබෙන්නේ මුළු නිකුතුවෙන් 10%ක් පමණයි. ඒ නිසාම ඔවුන් අසාමාන්‍ය ලෙස විශාල ප්‍රමාණයේ ලංසු ඉදිරිපත් කරන්නේද නැහැ. එහෙත් මෙම වෙන්දේසියේදී විශාල ප්‍රමාණයේ ලංසු ඉදිරිපත් වීමත් සැකකටයුතු එක් ආයතනයක් අස්වාභාවික ලෙස වැඩි ලංසු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමත් තුළ මෙම වෙන්දේසියේ හදිසි වෙනස්වීම පිළිබඳව ඔවුන් පූර්වයෙන් දැන සිටි බවටද සැකයක් මතුවනවා.
ආන්දෝලනාත්මක මෙම බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් නිකුත්කරන ලද නිවේදනයක සඳහන් වූයේ, මෙම වෙන්දේසියට පෙර දිනයේ එනම් පෙබරවාරි 26වැනි දින අමාත්‍යවරුන්ද මහ බැංකුවද සම්බන්ධවූ රැුස්වීමකදී හදිසි මුදල් අවශ්‍යතාවක් හඳුනාගත් බවයි. මෙම නිවේදනයෙන් ඍජුව ප්‍රකාශ නොවූවද හඟවා තිබුණේ එසේ හඳුනාගත් “හදිසි” මුල්‍ය අවශ්‍යතාවට අනුව මහ බැංකු අධිපතිවරයා විසින් රුපියල් බිලියන 01ක් වෙනුවට රුපියල් බිලියන 10ක (මිලියන 10,000ක) බැඳුම්කර නිකුත් කරන ලද බවයි. මෙය පූර්වයෙන් ප්‍රකාශ කරන ලද මිලියන 1000ක බැඳුම්කර නිකුතුව පසුදා රුපියල් මිලියන 10,000 දක්වා ඉහළ දැමීම සාධාරණීකරණය කරගැනීමට දක්වන ලද අසාර්ථක හේතු දැක්වීමක්. මන්ද එවැනි මූල්‍ය අවශ්‍යතාවයක් එදින හඳුනාගත්තේනම් ආසන්න පසුදිනක නැවත වරක් බැඳුම්කර නිකුතුවක් පහසුවෙන්ම කළ හැකිව තිබුණා. එහෙත් එසේ නොකර පෙබරවාරි 27 දිනට නියමිත බැඳුම්කර නිකුතුවේ වටිනාකම ඉහළ දැමීම පිටුපස වෙනත් අරමුණක් ක්‍රියාත්මක වූ බවට සාධාරණ සැකයක් මතුවනවා.
මහ බැංකු අධිපතිවරයාට ඥාතිත්ව බැඳීමක් සහිත පර්පචුවල් ටේරෂරීස් නම් ආයතනයක් මගින් ඉදිරිපත් කරන ලද ඉහළ පොලී අනුපාතයක ලංසු පිළිගැනීම වෙනුවෙන් මෙම බැඳුම්කර අගයන් ඉහළ දැමූ බවට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. මෙම තත්වය පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත මූල්‍ය ගනුදෙනුවලම තවත් දිගුවක්. රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ඡුන්දය ප්‍රකාශ කළ අති බහුතර ජනතාව මෙවැනි තත්වයක් කිසිසේත් අපේක්ෂා කළේ නැහැ. එබැවින් මෙම අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් මෙම සභාවේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
මේ තත්වය තුළ මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ආශ්‍රිතව පැන නැගී ඇති පහත ගැටලූවලට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
1. 2015 පෙබරවාරි 27වැනි දින බැඳුම්කර නිකුතුවේ වටිනාකම දස ගුණයකින් ඉහළ යාමට හේතුව කුමක්ද?
2. හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් වෙනත් වෙන්දේසියක් අදාළ කොන්දේසි පූර්වයෙන් ප්‍රකාශ කර නැවත කැඳවීමට පියවර නොගත්තේ ඇයි?
3. මිලියන 1000ක් වැනි මුදලක් කල්ප
ිරීම සඳහා අවුරුදු 30ක කාලයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද? ඒ වෙනුවෙන් 12.5%ක ඉහළ පොලී අනුපාතයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඇයි?
4. පෙබරවාරි 26වැනි දින පැවති රැුස්වීම හා පසුදින බැඳුම්කර නිකුතුවේ අගය ඉහළ දැමීම අතර සම්බන්ධයක් තිබේද?
5. බැඳුම්කර නිකුතුවේ අගය ඉහළ දැමීම නිසා ඉහළ පොලී අනුපාතයක් යටතේ වූ ලංසු පිළිගැනීමට සිදුවූයේද? එසේනම් එමගින් මහ බැංකුවට අලාභයක් සිදුවී තිබේද? එසේනම් ඒ කොපමණද?
6. පෙබරවාරි 27 දින බැඳුම්කර නිකුතුව සඳහා එක් එක් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ලංසු ප්‍රමාණයන් සහ එක් එක් ආයතනයට බැඳුම්කර නිකුත් කරන ලද ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද?
7. මේ ගනුදෙනුව පිළිබඳව පවත්වනු ලබන පරීක්ෂණයක් සාධාරණ හා අපක්ෂපාතී වනු පිණිස මහ බැංකුවේ සභාපතිවරයා තාවකාලිකව ඉවත් කරනු ලබන්නේද?
අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
මෙම ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පළමු වරට අනාවරණය කර සිටියේ අප විසිනි. එම පුවත පහතින් පල වේ.









