අනුර සින්දු කියන්නම යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ලබන ජුනි මාසය තෙක් සේවා දිගුවක් ලබා සිටියදී ඔහු මෙසේ  ඉල්ලා අස්වී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ බව ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දන්වා තිබේ. ඊට කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති අතර අද (17) දින පොලිස් මූලාස්ථානයේදී ඔහු වෙනුවෙන් උත්සවයක් පැවැත්වෙන බව වාර්තා වේ.

පසුගිය කාලසීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුවේ දැඩි ආන්දෝලනාත්මක චරිතයක් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවස්ථා තුනකදී සේවා දිගු ලබා තිබේ. පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ  එසේ සේවා දිගු ලැබූ එකම පොලිස් නිලධාරියා ඔහු බවද වාර්තා වේ. එමෙන්ම රාජපක්ෂ පාලනයට පක්ෂපාතී ලෙස පොලිසිය හැසිරවූ බවටත් කොළඹ නගරයේ පැවැති විරෝධතාවයන්ට අමානුෂික ලෙස පහර දීමට පොලිස් නිලධාරීන්ට නියෝග ලබා දී ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ල වේ. එසේම අධිකරණයෙදීද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් අධිකරණයේදීද දෝෂදර්ශනයට ලක් වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඔහුට හිමි බලතල යොදා ගනිමින් ඔහු විසින් ගායනා කරනු ලැබූ මාගේ කිරිල්ලී නම් සංයුක්ත තැටියක් සියලුම පොලිස් ස්ථාන වෙතත් පොලිස් නිලධාරීන් වෙතත් ලබා දීමට කටයුතු කළ අතර ඊට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව තුලින් දැඩි විරෝධයක් එල්ල විය.

Facebook
Twitter
LinkedIn