ලංකාවට මෙහෙම වුනේ වෘත්තිකයන් බදු නොගෙවන නිසා – නන්දලාල් වීරසිංහ

ලංකාවට මෙහෙම වුනේ වෘත්තිකයන් බදු නොගෙවන නිසා – නන්දලාල් වීරසිංහ

මෙරට වෘත්තිකයන් නිසි ආකාරයෙන් බදු ගෙවා තිබුණේ නම් ලංකාවේ ආර්ථිකයට මෙවන් අර්බුදකාරී තත්වයක් උදා නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු එලෙස පවසා සිටියේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135වන සංවත්සරය වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 01 දින පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.

ලංකාවේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව විශාල බදු මුදලක් ගෙවන බව පැවැසූ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, එසේ වුවද වෛද්‍යවරයෙකු සිය වෘත්තියේදී ගෙවා ඇත්තේ අඩු බද්දක් බව එහිදී ප්‍රකාශ කර තිබේ.

මෙරට වෘත්තිකයෙකුට කොතරම් බදු ගෙවීමට තිබුණත් ඔවුන් ගෙවන්නේ කොපමණ දැයි සියල්ලන්ම දන්නා කරුණක් වුවද ඔවුන් ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි වෙනත් රටකට ගියහොත් උපයන සෑම ඩොලරයකටම බදු ගෙවන බවද ඔහු පවසා ඇත.

එවිට ඔවුන් බදු ගෙවන්නේ වෙනම රටකට බවද අවම වශයෙන් ඒ බදු මුදල හෝ ලංකාවට ගෙවිය යුතු බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබේ.

ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බදු ආදායම අඩු වීම බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇති අතර එම හේතුව මත ආණ්ඩුවට මූලික අවශ්‍යතාවලට වියදම් කිරීමට හැකියාවක් නොමැති බවද පවසා ඇත.

එම හේතූන් මත බදු ආදායම වැඩි කළ යුතු බවද එහි විවාදයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේ වුවද ආදායම් මත ගෙවන බදුවල සමානාත්මතාවක් තිබිය යුතු වීම මූලික අංගයක් වන බවද ඔහු සඳහන් කර ඇත.

වෘත්තිකයන් ඇතුළු සියලු දෙනාම ආදායම් බදු ගෙව්වේ නම් අද මෙරටට මෙතරම් ප්‍රශ්නයක් පැන නොනගින බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn