අද මධ්‍යම පන්තියත් දිළින්දන් බවට පත් වෙලා – කාදිනල් හිමි

අද මධ්‍යම පන්තියත් දිළින්දන් බවට පත් වෙලා – කාදිනල් හිමි

අද ලංකාව තුළ යම් ආකාරයක මධ්‍යම පංතියක් හිටියා නම්, ඒ මධ්‍යම පංතියත් දැන් දිළිඳුන්ගේ පංතියට වැටි සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

කාදිනල් හිමියෝ මේ බව පැවසූවේ රාගම ශ්‍රී හෘදය දේවස්ථානයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් ඒ හිමියෝ වැඩිදුරටත් දැක් වූ අදහස්,

“අද ශ්‍රී ලංකාව තුළ යම් ආකාරයක මධ්‍යම පංතියක් හිටියා නම්, ඒ මධ්‍යම පංතියත් දැන් දිළිඳුන්ගේ පංතියට වැටිලා හමාරයි.

ලොකු මහ පාරවල් හැදුවට, ලෝකයටම මහන්තත්තකම පෙන්නුවාට, මහ කුලුනු හැදුවට, ලෝකයටම පන්පෝරි ගහන්න ලොකු ගුවන්තොටුපොළවල් හැදුවාට, එක ගුවන්යානයක්වත් නතර වෙන්නේ නැහැ. ගුවන්තොටුපොළවල් හැදුවට. ලංකාවේ බොහෝදෙනෙක් කන්න වේලක් නැතුව ජීවත්වෙන තත්ත්වයට අද වැටිලා තියෙන්නේ.

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා අද ඒ අය ලෑස්ති වෙනවලු. නත්තලට කොළඹ නගරය සුරපුරයක් වගේ පෙන්න. කන්න දෙයක් නැහැ නමුත් සුරපුරයක්. නායකෝ සතුටින් ඉන්නවා. ලෝකයේ හැම රටවල්වලම හිඟාකන්නට ගිහිල්ලා තියෙන රටක් ලංකාව. බොරු ශෝ කරලා එම්ටි පොකට්.

මගේ පියතුමන්ලා කිහිපදෙනෙක්ම මට කිව්වා දහම් පාසලට එන ළමයින්ට ඉස්සරෝම කන්න දෙන්න ඕනේ නැත්නම් ක්ලාන්තය දානවා කියලා. ඉගෙන ගන්නේ කොහොමද ? අහස උසට කුලුනක් හදලා. ඒකෙන් කොමිස් ගැහුවා. ඒවාට මොකුත් නැහැ. ඒ සල්ලි කොහේ ගියාද කියලා නැහැ. අහස උසට කුලුනු ගැහුවා කියලා ලංකාව දියුණුයි කියලා කියන්න බැහැ.

අපි ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිසමෙන් ලබන අවුරුද්දේ මාර්තු මාසයේ පවත්වන්න තිබෙන ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය පවත්වන්න. ඒක අපේ අයිතිවාසිකමක්. එතකොටවත් මේ ආණ්ඩුවට අපිට උත්තර දෙන්න පුළුවන්.”

Facebook
Twitter
LinkedIn