මහින්දට එරෙහිව තවත් පිරිසක් කරළියට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා නම් නොකරන්නැයි ඉල්ලමින් ශ්‍රීලංනිප පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නැයි ඉල්ලමින් විමල්, වාසු, ගම්මන්පිල, දිනේෂ් අතුළු පිරිසද බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංගද මේ වනවිට මතයක් ගොඩනගමින් සිටී.

ඒ අනුව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට අනුව මැතිවරණයට පෙර අගමැති අපේක්ෂකයෙකු නම් නොකරන්නැයි ඉල්ලා සිටීම තුළින් මතුවන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය තුළ පවතින අකමැත්ත කරළියට පැමිණීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.

දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳයාපා අබේවර්ධන, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හිටපු අගමැති පුත් අනුරාධ ජයරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග, වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත්, සබරගමුව පළාත් සභා මන්ත්‍රී තාරක බාලසූරිය, සබරගමුව පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක, සබරගමුව පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සබරගමුව පළාත් සභා මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, සබරගමුව පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් ද අල්විස්, දකුණු පළාත් සභා මන්ත්‍රී දුල්ෂාන් පද්මසිරි කාරියවසම් යන අය අද පැවති මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ.

ජනාධිපතිවරණය පැවති දිනවල මෙම පිරිසේ බොහෝ අයගේ නම් කියැවුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහායට ඔහු සමග එක්වන්නන් බව වුවත් මෙම පිරිස පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පිල නියෝජනය කළ අය වීම විශේෂයකි.

Facebook
Twitter
LinkedIn