වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් ගහනම ලබන අගෝස්තු මස 02 දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කර තිබේ.
එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අනවශ්‍ය බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කළ දැනුම්දීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වික්‍රමසිංහ එම පෙත්සම්වලින් නිදහස් කිරීමටද නියෝග කර ඇත.
එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් පෞද්ගලික මට්ටමින් නම් කිරීමට අවසර දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගෝස්තු මස 01 වනදා එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි යවන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර තිබේ.
මෙම පෙත්සම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබිණි.









