රනිල් නිසා රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්වෙනවා – කාදිනල් හිමි

රනිල් නිසා රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්වෙනවා – කාදිනල් හිමි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට ලක්වන බවත්, රටේ අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහායට බාධා ඇතිවෙන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

කාදිනල් හිමියෝ මේ බව පැවසූවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් අරගලකරුවන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග ගැන අදහස් දැක්වීමට අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන කාදිනල් හිමියෝ,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් පමණක් ජනාධිපති ධුරයට පත් වූ, එතෙක් පාර්ලිමේන්තුව තුළ කිසිදු ජන අභිමතයක් නොමැති, රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා මෙම පහරදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශණයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කඩ කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය අභියසින් අද (22) සවස වනවිට ඉවත්වන බව අරගලකරුවන් ප්‍රකාශකොට තිබියදී එල්ල කරන ලද මෙම සාහසික ප්‍රහාරයටද මෙම අමානුෂික ප්‍රහාරය හේතුකොටගෙන අනාගතයේදී කිසියම් අනර්තකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ඒ සියල්ලටද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු බව අපි ප්‍රකාශකර සිටිනවා.

මෙහිදී ප්‍රහාරයට ලක්වූ පිරිස අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් සිටින බවත් වාර්තා වෙනවා. මාධ්‍යවේදීන් ඉලක්කරමින් සිදුකර ඇති මෙම ප්‍රචණ්ඩත්වය අපි පිළිකුළෙන් යුතුව හෙලාදකින බවට අවධාරණය කරනවා. මෙවැනි මර්ධනකාරී ක්‍රියාවන් හේතුකොටගෙන සිදුවිය හැකි ජාත්‍යන්තර අපකීර්තිය හා ආර්ථික අර්බුදය විසඳීමෙහිලා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගයට සිදුවන අනර්තකාමී බලපෑම් සියල්ලටම ජනාධිපතිවරයා සෘජුවම වගකිවයුතු බව මෙහිලා ප්‍රකාශකරන්නට කැමතියි.

මෙම ව්‍යවස්ථා විරෝධී ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිධභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකොට එයට අනදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් කවුන්සලයෙන්ද ඉල්ලා සිටිනවා.”

Facebook
Twitter
LinkedIn